Tuesday, April 30, 2024

General line - 0115112241

රුසියාව, ඉන්දියාවේ විශාලතම බොරතෙල් සැපයුම්කරු වෙයි




ඉන්දියාවේ ප්‍රධාන බොරතෙල් සැපයුම්කරු බවට රුසියාව පත්ව තිබෙනවා. ඒ අනුව රුසියාවෙන් ඉන්දියාව වෙත සිදුකරන බොරතෙල් ආනයනය වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එහි ප්‍රතිපලයක් ලෙස ඉන්දියාවේ ප්‍රධානතම බොරතෙල් සැපයුම්කරුවන්ව සිටි සෞදි අරාබිය සහ ඉරාකයෙන් ආනයනය කරන බොරතෙල් ප්‍රමාණයේ එකතුවට වඩා වැඩි ප්‍රමාණයකින් ඉන්දියාව මේවනවිට රුසියාවෙන් බොරතෙල් ආනයනය කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව පසුගිය පෙබරාවාරි මාසයේදී පමණක් රුසියාවෙන් ඉන්දියාව වෙත දිනකදී ආනයනය කර තිබූ බොරතෙල් ප්‍රමාණය බැරල් මිලියන 1 යි දශම 5 ක් ඉක්මවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ. 

යුක්රේන යුද්ධය ආරම්භ වීමට පෙර ඉන්දියාවේ බොරතෙල් ආනයනයෙන් රුසියානු බොරතෙල් සඳහා හිමිව තිබුණේ  සියයට 01 ක පමණ වෙළඳපල කොටසක් බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඉකුත් පෙබරවාරි මාසය වනවිට එම ප්‍රතිශතය ඉහළ ගොස් ඇත්තේ සියයට 35 ක් දක්වායි. 

යුක්රේන යුද්ධය හේතුවෙන් බටහිර සහ යුරෝපා රටවල් රුසියාවෙන් සිදුකරන බොරතෙල් ආනයනය සඳහා සීමා පැනවුවා. එහි ප්‍රතිපලයක් ලෙස රුසියාව සිය මිත්‍ර රටවල්වලට වට්ටම් සහිතව බොරතෙල් ලබාදීමට ඉදිරිපත් වුණා. ඉන් ප්‍රයෝජනය ලබාගත් ඉන්දියාව දිගින් දිගටම රුසියාවෙන් බොරතෙල් ආනයනය කළ අතර බොරතෙල් ආනයනයේදී රුසියාව ඉන්දියාවට විශාල වශයෙන් වට්ටම් ලබාදෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

ඉන්දියාව යනු ලොව තෙවන විශාලතම බොරතෙල් ආනයනකරු වනවා. බොරතෙල් ආනයනයෙන් ඉන්දියාවට වඩා ඉදිරියෙන් පසුවන්නේ චීනය සහ අමෙරිකාව පමණයි.