Tuesday, April 30, 2024

General line - 0115112241

චීනය සිය ආරක්ෂක වියදම් ඉහළ දමයි




චීනය සිය ආරක්ෂක වියදම් තවදුරටත් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, පසුගිය වසරේ අයවැයෙන් සියයට 7යි දශම 1ක් පමණ වූ එරට ආරක්ෂක වියදම මෙවර අයවැයෙන් සියයට 7යි දශම 2ක් දක්වා ඉහළ දැමීමටයි චීන බලධාරීන් තීරණය කර ඇත්තේ. ඒ අනුව චීනයේ ආරක්ෂක වියදම ඩොලර් බිලියන 225ක පමණ අගයක් ගනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. චීන ජාතික මහජන කොන්ග්‍රසයේ ඊයේ ආරම්භ වූ වාර්ෂික සැසිවාරයේදීයි එම තීරණයට එළඹ තිබෙන්නේ.

මෙම වසරේ චීනයේ දළ දේශීය නිශ්පාදිතයේ වර්ධනය සියයට 5ක පමණ අගයක් ගනු ඇති බවටයි එහිදී ප්‍රකාශ වී ඇත්තේ. පෙර වසරට සාපේක්ෂව චිනයේ අයවැය හිඟය සියයට 2යි දශම 8 සිට සියයට 3ක් දක්වා ඉහළ යනු ඇති බවද පුරෝකථනය කර තිබෙනවා. ඒ අනුව, නැවත වරක් දළ දේශීය නිශ්පාදිතයේ වර්ධන වේගයට වඩා වැඩි ප්‍රතිශතයක් චීනය විසින් ආරක්ෂක වියදම් සඳහා වෙන් කිරීමද විශේෂත්වයක්.

ධූරයෙන් ඉවත්ව යාමට නියමිත චීන අග්‍රාමාත්‍ය ලී කේ ක්වෑන් එහිදි පවසා ඇත්තේ චීනය යටපත් කිරීමට සහ පාලනය කිරීමට බටහිර උත්සහයන් උත්සන්න වෙමින් පවතින බැවින් හමුදා පුහුණුව සහ සූදානම තීව්‍ර කළ යුතු බවයි. එමෙන්ම, චීනය විසින් සිය ආරක්ෂක වියදම් තවදුරටත් ඉහළ දමා ඇත්තේ තායිවානය සමඟ පවතින දේශපාලනික අර්බුදයන් උත්සන්න වෙමින් පවතින පසුබිමකයි. 

ජනාධිපති ෂී ජිං පිං ගේ තුන්වන ධුර කාලය ස්ථිර කිරීම ඇතුළු චීන දේශපාලනයේ වැදගත් තීරණ රැසකට එළඹීමේ අරමුණින් මෙවර චීන මහජන කොන්ග්‍රසයේ සැසිවාරය පැවැත්වෙනවා. චීන ජනාධිපතිවරයාගේ සමීතමය දේශපාලන සගයා ලෙස කටයුතු කළ වත්මන් අග්‍රාමාත්‍ය ලී කේ ක්වෑන් සිය ධූරයෙන් ඉවත්වීම මෙන්ම කැබිනට් සංශෝධන කිහිපයක්ද මෙවර සැසිවාරයේදී සිදු වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.