Tuesday, April 30, 2024

General line - 0115112241

ජපානය "අතුරුදන්ව" යනු ඇති බවට ප්‍රකාශයක්




ජපානය "අතුරුදන්ව" යනු ඇති බව එරට අගමැති ෆුමියෝ කිෂිඩාගේ උපදේශකවරයා වන මසකෝ මෝරි ප්‍රබල අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

ඒ එරට දරු උපත් අනුපාතය සිඝ්‍රලෙස පහත වැටීම හේතුවෙන් බවයි ඔහු සඳහන් කර සිටින්නේ.

ජපානයේ උපත් අනුපාතය ලෝකයේ අඩුම උපත් අනුපාතය ලෙස හැඳින්වෙන බවයි 2021 වර්ෂයේ පළවූ ඩිප්ලෝමැට් පුවත්පත සඳහන් කර සිටියේ.

කාන්තාවක් ඇගේ ජීවිත කාලය තුළ ලැබෙන දරුවන් සංඛ්‍යාව පෙන්නුම් කරන සරු භාවය අනුපාතය 1.30 දක්වා පහත වැටුණ අතර සංක්‍රමණ නොමැති විට ස්ථාවර ජනගහනයක් පවත්වා ගැනීමට අවශ්‍ය 2.1 අනුපාතයට වඩා අඩුවීම කණගාටුදායක තත්ත්වයක් ලෙසයි පෙන්නුම් කරනු ලැබුවේ.

ජපානයේ ආයු අපේක්ෂාව ලෝකයේ ඉහළම අගයන් අතර පසුවේ. එරට පුද්ගලයින් 1500 ක ගෙන් එක් අයෙකු අවුරුදු 100ට වඩා වැඩි වේ. 

එරට ජනගහණයෙන් සීයයට 29ක ප්‍රතිශතයක් අවුරුදු 65 හෝ ඊට වැඩි පුද්ගලයින් වේ.

මින් දරුණුම කරුණ වන්නේ පසුගිය වසරේ, ජපානයේ උපත ලැබූ පුද්ගලයින් මෙන් දෙගුණයක් පමණ මිය ගොස් තිබීමයි. පසුගිය වසරේ එරට උපත් සංඛ්‍යාව 800,000 ට අඩු වූ අතර මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 1.58 ක් පමණ වේ.

2008 වර්ෂයේ දී මිලියන 128 (කෝටි 12.8) ඉක්ම වූ ජනගහනය මේ වන විට මිලියන 124.6 (කෝටි 12.4) දක්වා පහත වැටී ඇති අතර ජනගහණය පහත වැටීමේ අනුපාතය සිග්‍රවෙමින් පවතින බවයි සංඛ්‍යා දත්ත පෙන්නුම් කර සිටින්නේ.

ජපානයේ ඉහළ ජීවන වියදම, සීමිත ඉඩකඩ සහ නගරවල ළමා සුරැකුම් ආධාර නොමැතිකම දරුවන් ඇති දැඩි කිරීම දුෂ්කර කරන බැවින් බොහෝ යුවළවල් දරුවන් බිහි කිරීම සීමා කර ඇති බවයි CNN මාධ්‍ය වාර්තා කර සිටින්නේ.