Tuesday, June 25, 2024

General line - 0115112241

අභිමානවත් 56 වසරක ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ ගමන් මග




අභිමානවත් ඉතිහාසයක් ඇති කොළඹ හත කූඹි කැලේ 1966 වසරේ ඇරඹි ඩී.ඇස්. සේනානායක විදුහලට 2023 පෙබරවාරි මස 10 වැනි දිනට වසර පනස් හයක් සපිරුණි. එවකට කොළඹ ඉහළ පෙළේ ජනප්‍රිය පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා එකල දෙමාපියන් තුළ පැවතියේ වර්තමානයේ පවතින්නා සේ ම තරගකාරී ස්වභාවයකි.

එවකට කොළඹ හත කුරුඳුවත්ත ප්‍රදේශයේ පැවති එක ම උසස් පාසල වූයේ රාජකීය විද්‍යාලය පමණි. එම පාසලට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා වූ විශාල ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට රාජකීය විද්‍යාලයට ද හැකියාව නොතිබුණි.

එම පාසලට සිසුන් ඇතුළත් කර ගැනීමට සුදුසුකම් සැපිරුව ද එම පාසලට දරුවන් ඇතුළත් කර ගැනීමට නොහැකි වීම පිළිබඳ දෙමාපියන්ගේ අපමණ වූ මැසිවිලි නිසා අධ්‍යාපන අමාත්‍යංශයට ද මෙය හිසරදයක් බවට පත්විය. එයට හේතුව වූයේ මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශයට ලැබුණ පෙත්සම් හා පැමිණිලි දිනෙන් දින වැඩි වූ බැවිනි.

1965 වසරේ අධ්‍යාපන ඇමතිධූරය දැරූ අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මැතිතුමා ඒ සඳහා ස්ථිර විසඳුමක් ලෙස රාජකීය විද්‍යාලය වැනි වූ එවැනිම තවත් පාසලක් කොළඹ හත කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැගීම තීරණය කළේය. එසේ ආරම්භ වූයේ කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලයයි.

මෙසේ ආරම්භ කිරීමට තීරණය වූ නව පාසල සඳහා ඉදිකිරීමට සුදුසු භූමි භාගය අධ්‍යාපන අමාත්‍යතුමාගේ නියෝගය මත තෝරා ගැනීම අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශයේ ස්ථිර ලේකම් එම්.ජේ. පෙරේරා මහතා‍ට පැවරුණ අතර කල් නොයවා ඒ සඳහා ග්‍රෙගරි හා කිංසි පාරට හමුවන මංසන්ධියේ ග්‍රෙගරි පාරට මුහුණලා පිහිටි රජයේ හිස් ඉඩමක් සොයා ගන්නා ලදි.

අක්කර 1 ½  පමණ වූ මෙම ඉඩම නිරීක්ෂණ චාරිකාවෙන් පසු එය පාසලකට සුදුසු බව අධ්‍යාපන අමාත්‍ය ඊරියගොල්ල මැතිඳුන්ට දන්වා එය අධ්‍යාපන අමාත්‍යංශයට පවරා පාසල ඉදි කිරීමට අවශ්‍ය කටයුතු කඩිනම් කෙරිණි.

මෙම පාසල ආරම්භ කිරීමට මෙතුමා ලබාදුන් දායකත්වය මෙහිලා ඉතා ගෞරවයෙන් සිහිකළ යුතුය. 

පාසලට අවශ්‍ය ඉඩම ලැබීමත් සමග ඇති වූ ඊළඟ අභියෝගය වූයේ නව විදුහල සඳහා විදුහල්පතිවරයෙක් තෝරා ගැනීමය. මෙය අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශයේ ස්ථිර ලේකම් ලෙස කටයුතු කළ එම්.ජේ.පෙරේරා මහතාට පැවරී තිබුණි.

එතුමා විසින් එම කටයුත්ත සඳහා සුදුස්සෙක් තෝරා ගැනීම රාජකීය විද්‍යාලයේ විදුහල්පති ලෙස එවකට කටයුතු කළ බෝගොඩ ප්‍රේමරත්න මහතාට පවරන ලදි. මේ සඳහා එතුමාට එකවර ම සිහියට නැගුණේ අන් කවරෙකු වත් නොව එවකට රාජකීය විද්‍යාලයේ සේවයේ සිටි ශිෂ්‍යන්ගේ මෙන් ම ගුරුවරුන්ගේ ද නො මද ගෞරව ආදරයට පාත්‍ර ව සිටි ආර්.අයි.ටී. අලස් මහතාවය.

ඒ සඳහා එතුමා සුදුස්සෙකු බව රාජකීය විද්‍යාලයට හා රාජකාරි මනා අන්දමින් ඉටු කර එය ඔප්පු කර තිබුණි. එම නිසා උපතින් ක්‍රිස්තියානි ආගමිකයකු වුවද වීම අලස් මහතා ඩී.ඇස්. සේනානායක මහතාගේ නමින් ඉදිකිරීමට නියමිත අලුත් පාසලේ විදුහල්පති වීම වැළැක්වීමට හේතුවක් නොවූයේ ඔහුගේ තරුණ කාර්ය ශූර දක්ෂ ස්වභාවය යැයි දැක්වීම නිවැරදි ය.

තව ද අන්‍ය ආගමිකයෙකු වීම නිසාත් මෙය ලාංකිකයන් ලෙස ආගමික සහජීවනය පෙන්වීමට යොදා ගත හැකි අවස්ථාවක් ලෙස සලකා එතුමා අන්‍ය ආගමිකයකු වීම නිසා බෞද්ධයන්ට වඩාත් හොඳින් සලකනු ඇතැයි එදා සිටි අධ්‍යාපන බලධාරීන් විශ්වාස කරන්නට ඇත. ඒ නිසාම ආර්.අයි.ටී. අලස් මහතා විදුහල්පති ලෙස තෝරා ගන්නා ලදි.

එදා කූඹි කැලේ නමින් හඳුන්වන ලද භූමියේ පාසලක් ඉදිකිරීමට 1967 ජනවාරි මාසයේ කටයුතු ආරම්භ කෙරිණි. රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයන් හා ගුරුමණ්ඩලය හා අධ්‍යාපන නිලධාරීන්ගේ සහායෙන් පාසලේ එක් ගොඩනැගිල්ලක් හා අවශ්‍ය අනෙකුත් දෑ සම්පාදනය කර දෙන ලදි.

ඒ අනුව සිංහල මාධ්‍ය සඳහා පන්ති තුනක් ද දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය සඳහා එක් පන්තියක් බැගින් පන්ති කාමර වෙන් කෙරුණු අතර මෙම පාසලේ විදුහල්පති අලස් ගුරුපියාණන් හා තවත් ගුරු මෑණිවරු හා පියවරු 7 දෙනෙක් බඳවා ගෙන තිබුණි. ඒ.ඩී.පී. කරුණාරත්න, විජේරත්න හා තිරිමා විතාරණ යන ගුරු මහත්ම මහත්මීන් සිංහල මාධ්‍ය සඳහාත් තිමෝදරම් පිල්ලේ මහතා දෙමල මාධ්‍ය හා එස්. ඉසේයි සලිහු මහත්මිය ඉංග්‍රීසි මාධ්‍ය සඳහා ගුරු මහත්මින් ලෙස පත් වූහ. පළමු අවුරුද්දේ පළමු වසර සඳහා ඉල්ලුම්පත් 167 ලැබුණු අතර, එම වසරේ පළමු වසර සඳහා ඒ සියලු දෙනාම බඳවා ගන්නා ලදි.

ඒ අනුව 1967 පෙබරවාරි 10 දින පෙරවරු 8.34 යෙදී තිබූ සුභ මොහොතින් ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂ බී. නූර්දින් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන නිලධාරීන් චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දල්වා කළු ලෑල්ලේ ‘අ’ අකුර ලියා එය දරුවන් ලවා හඬ නගා කියවා ඩී.ඇස්. සේනානායක විද්‍යාලය නම් වූ අපේ ඉස්කෝලේ ආරම්භය, සනිටුහන් විය.

මෙම ආරම්භක උත්සව සභාව අමතා අලස් විදුහල්පතිතුමා කළ කථාව ඉතා වැදගත්ය. “මෙම අවස්ථාවට සම්බන්ධව සිටින පාසලේ දරුවන්ගේ දෙමාපියන්ගේ සහය ලැබුණහොත් ඉතා කෙටි කාලයකින් අගනුවර ප්‍රධාන පෙළේ පාසලක් බවට මේ පාසල පත් කරන බවත්, දරුවන්ගේ අධ්‍යාපනය, හැදියාව සම්බන්ධ වගකීම තමන් ඇතුළු ගුරු මණ්ඩලය මෙතැන් සිට භාරගන්නා බවත්, අද සිට මේ පාසල “මගේ පාසල ලෙස සිතා සියලු දෙනා කටයුතු කළ යුතු අතර, සියලු ජාති හා ආගම් පිළිබඳ නො මද ගෞරවයෙන් හෙබි මතු පරපුරක් බිහි කිරීම මෙම පාසලේ පරමාර්ථය බවත්, එය පාසලේ දී මෙන් ම නිවසේ දි සිහි තබා කටයුතු කළ යුතු බවත්, සෑම දරුවෙකුගේ ම දෙවැනි නිවස පාසල බවත්, ගුණවත් දරුවෙක් බිහි කිරීමට පාසල මෙන්ම නිවසේ වටාපිටාව වැදගත් වන ආකාරය තව දුරටත් කියා සිටියේ ය.
 
ඒ අනුව ගොඩනැගූ ඩි.ඇස්. සේනානායක විද්‍යාලය සමස්ත ශ්‍රී ලංකාවේ පැතිකඩක් නිරූපණය කරන පාසලක් බවට පත්ව ඇත.

එලෙස ඇරඹි ඩී.ඇස්. සේනානායක විද්‍යාලය දිනෙන් දින සංවර්ධනය වූයේ ආරම්භක දින අලස් විදුහල්පතිතුමාගේ ඉල්ලීම පරිදි දෙමාපියන් සෑම සති අන්තයකම ශ්‍රමදාන පවත්වා පාසල් පරිශ්‍රයේ සංවර්ධන කටයුතු සඳහා නො මද ශ්‍රම දායකත්ව ලබා දීමෙනි.

එසේ ම එක් ගොඩනැගිල්ලකින් ඇරඹි මෙම පාසලේ පළමු දෙමහල් ගොඩනැගිල්ල ඉදි වීමේදී දෙමාපිය සංගමයේ තීන්දුව මත සෑම මව් පියකුම තමාගේ ආදායමින් 1% ක් විද්‍යාලයේ ගොඩනැගිලි අරමුදල සඳහා සෑම මසකම පරිත්‍යාග කිරීමෙන් මූල්‍යමය වශයෙන් දායක වූයේ ඔවුන්ගේ කැමැත්තෙන් ම ය.

මෙම පාසලේ අධ්‍යාපන වරප්‍රසාද ලබා ගැනීමට පැමිණියේ බහුතර දෙනා මධ්‍යම පාන්තිකයන් වුවත් දරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් කැප වූ බව නොයෙක් දේ සම්බන්ධ තොරතුරුවලින් හෙළිවේ. එසේ ම මෙසේ ගොඩ නැගුණ මෙම පාසල සිසුන්ගේ දෙවැනි නිවස බවට පත්කර ගත් අතර එය ඔවුන්ට ප්‍රියමනාප තැනක් බවට පත් කරලීමට විදුහල්පතිතුමා මුල් කරගත් ගුරුමෑණිවරුන් හා ගුරු පියවරුන් කටයුතු කළේ ය.

ඒ නිසා ම මේ පාසලේ දරුවන් ආමන්ත්‍රණය කරන ලද්දේ “රත්තරං පුතා” ලෙසය. ඒ නිසාම දෙමාපියන් හා සමාන ළෙන්ගතු කමක් ආදරයක් මේ දරුවන්ට ලැබුණි.

පාසල් ධජය හා ලාංඡනය සම්පාදනය වීමේ දී ඉතා දූරදර්ශීව කල්පනා කිරීමෙන් සම්පාදනය කරන ලදි. කළු හා කහ වර්ණය විනය අර්ථවත් වන බැවින් පාසලකට විනය ප්‍රධාන වන බැවින් එය තෝරාගත් අතර, “තමාට පෙර රට” යන ආදර්ශ පාඨයත් ජාතික කොඩියේ සිංහ ලකුණත් වී කරල් දෙක හා පහන යන සංකේත උපයෝගී කර ගත්තේ පිරිමි පාසලකට උචිත එඩිතර බවත්, සශ්‍රීකත්වය හා ප්‍රඥාව යන කරුණු පිළිබිඹු වන අන්දමින්ය.

මෙමගින් මේ පාසලේ ආරම්භයේ සිට ම මනා දැක්මකින් යුක්තව ගොඩ නැගීමට අවශ්‍ය පරිචයක් එදා පාසල් ප්‍රජාව තුළ පැවති බව පැහැදිලි වේ.

එසේ ම සිප් සත සිප් වෙත ......... ලෙස ප්‍රවීණ ගී පද රචක ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා අතින් නිර්මාණය වූ එවකට පාසලේ සංගීත ගුරුවරයා වූ නවරත්න අත්තනායක ගුරුපියාණන්ගේ තනු නිර්මාණයෙන් නිර්මාණය වූ පාසල් ගීතය එදා මෙදා තුර පාසල ආරම්භයේ සෑම දිනකමත් සෑම පාසල් රැස්වීමකදී හා සෑම උත්සවයක් ආරම්භයේ දී ගායනය වන්නේ මහත් වූ අභිමානයකින් යුතුව ය.

දිනෙන් දින වසරින් වසර භෞතික සම්පත් අතින් ද සංවර්ධනය වූ මෙම පාසලට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා වසරින් වසර ඇතුළත් වීමට පැමිණි සිසුන්ගේ ද දක්නට ලැබුනේ වර්ධනයකි. මෙම පාසල ආරම්භකර දෙවැනි වසරේ දෙසීයකට වැඩි අයදුම්පත් ප්‍රමාණයක් ද තුන්වන වසරේ දී එම අයදුම්පත් ප්‍රමාණය තුන්සීයකට අධික විය.

1970 සිට 1980 දක්වා කාලය ඩී.ඇස්. සේනානායක විද්‍යාලය කිසිදා නොවූ විරූ අන්දමින් දියුණුවක් අත්පත් කර ගැනීමට සමත් වූයේ ය. රට තුළ කුමන දේශපාලන සමාජ වෙනස්කම් සිදු වුවත් ඒවා මෙම පාසලට බලපෑවේ නැත.

මේ වන විට සෑම අංශයකින් ම  සංවර්ධනය කරා පියනගමින් සිටිය ද වාර්ෂිකව පවත්වන ක්‍රීඩා උත්සවය පැවැත්වීමට බාධාවක් වූයේ විද්‍යාලයට ක්‍රීඩාංගණයක් නොමැති වීමයි. එයට හේතුව වූයේ පාසල් භූමියේ හරි මැද අනවසරයෙන් අත්පත් කර ගත් පෞද්ගලික පදිංචිකරුවෙකුගේ නිවාසයක් තිබීමය.

මෙම ප්‍රශ්නය ඉතා ඉවසිලිවන්තව හා සානුකම්පිතවත් උපායශීලිවත් කටයුතු කර එම නිවස ඉවත් කර එම භූමි ප්‍රදේශය ද පාසලට අත්පත් කර ගැනීමට අලස් විදුහල්පති ගරු පියාණන් ප්‍රධාන ගුරු දෙගුරු සංගමයට හැකි විය.

මෙසේ අත්පත් කර ගත් එම භූමි ප්‍රදේශය ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ ක්‍රීඩාංගණය බවට පත් වීමේ දී එම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන ඩී.ඇස්. පුතුන් ලෝක පූජිත ක්‍රීඩා තරු වෙතැයි කිසිවෙකු එදා නොසිතන්නට ඇත. අරවින්ද ද සිල්වා , හෂාන් තිලකරත්න , කෝසල කුරුප්පුආරච්චි, පුබුදු දසනායක , නවීන් නවාෂ්, පුලස්ති ගුණරත්න, ඉසුරු උදාන, බිනුර ප්‍රනාන්දු ඩී. ඇස්. කෙළිබිමේ බිහි වූ ක්‍රීඩා තරුය.

ඔවුන් අනුගමනය කරමින් 2019 වර්ෂයේදී 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරිපත් වූ ලෝක කුසලාන තරගාවලියට නායකත්වය දෙමින් කටයුතු කළේ මලින්ත ගජනායක ඩී.ඇස්. සෙන්පති පුතුය. 

තවද ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී 1971 අගෝස්තු මස 16 වන දින පළමු නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදු කරන ලද්දේ කල් වේලා ඇතිව සැලසුම් කර සංවිධානය කිරීම නිසාවෙනි. ශූර, වීර, ශාන්ත, මෙත්ත ලෙස සිසුන් හා ගුරු මණ්ඩලයේ සියලු දෙනා වෙන් කිරීම සිදුවූයේ ද ක්‍රමවත් ලෙසය.

එතැන් පටන් සෑම වසරකම නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පවත්වන අතර මෙම උත්සවය ප්‍රාථමික හා ජ්‍යෙෂ්ඨ අංශ සඳහා වෙන් වෙන්ව පැවැත්වීමට ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වීමත් සමග සිදු විය.

ඒ අනුව වර්තමානයේ ප්‍රාථමික හා ජ්‍යෙෂ්ඨ අංශයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ඉතා උත්කර්ෂවත් හා ගාම්භීරව සිදු කිරීමට පාසල් පරිපාලනය වග බලා ගනී. එසේ එලෙස ඉදිරියට එන දක්ෂ ක්‍රීඩකයන් පලාත් හා දිස්ත්‍රික් මට්ටමින් හා ජාතික තලය නියෝජනය කිරීමට ජයග්‍රහණ ලබා ජාත්‍යන්තරය ලංකාව නියෝජනය කිරීමට සෙන්පති පුතුන්ට හැකිව ඇත.

එසේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජය කිරුළු පැලදීම පාසල තුළ ක්‍රීඩාවන් 50 කට අධික ප්‍රමාණයක් සඳහා පහසුකම් සපයා ඇත. නව ක්‍රීඩාංගණයක් ද ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ද, පිහිනුම් තටාකය, එසේ ම වෙන කිසිදු පාසලක නොමැති නවීන පන්නයේ වෙඩි පිටියක් ද මේ වන විට ඩී.ඇස්. සේනානායක විද්‍යාලය සතුව ඇති විශේෂ දෑ ය.

තවද ශාරීරික යෝග්‍යතාව මනාව තබා ගැනීම සඳහා ශරීර සුවතාව පවත්වා ගැනීමට කායවර්ධන ඒකකයක්ද පාසල සතුව ඇත.

අවුරුදු පනස් හයක් තරම් කෙටි කාලයකින් ක්‍රීඩා අංශය, බොහෝ භෞතික සම්පත් සපුරා ගෙන ඇත. එසේ ම එදා මෙදා තුර ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබාගෙන ඇත.

ඒ අතර 2022 ආසියානු යෞවන මළල ක්‍රීඩා තරගාවලියේ උස පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම ද, ස්කොෂ් ක්‍රීඩාවෙන් 2019 ආසියාතික තරගාවලියේ ලෝකඩ පදක්කම, ආසියානු පාසල් චෙස් තරගාවලිය 2022 ලෝකඩ පදක්කම ද, 2021 ආසියානු යොවුන් පැරා පිහිණුම් තරගාවලියේ මීටර් 400 නිදහස් ආර ඉසව්වෙන් ලෝකඩ පදක්කම ද, 2019 දකුණු ආසියාතික බැඩ්මින්ටන් කණ්ඩායම් තරගාවලියේ රිදී පදක්කම ද, 21 න් පහළ දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් තරගයෙන් අනු ශූරතාවය ද, 2019 දකුණු ආසියාතික තරගාවලියේ ස්කොෂ් ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම ද , දිනා ගෙන ඇති ජාත්‍යන්තර ජයග්‍රහන අතරින් කීපයකි.

ක්‍රිඩාවට අමතරව විෂය සමගාමී කටයුතු සඳහා සිසුන් යොමු කිරීම සඳහා  ද අවධානය යොමු කළ මුල් අවදියේ 1971 වසරේ දී සිංහල භාෂා දිනය සංවිධානය කළ අතර ඉන් අනතුරුව සිංහල සාහිත්‍ය සංගමයත් පසුව දෙමළ හා ඉංග්‍රීසි සාහිත්‍ය සංගම් ආරම්භ වූයේ මේ පාසලේ මේ භාෂා ත්‍රිත්වයෙන්ම අධ්‍යාපනය ලබා ගන්නා සිසුන් මෙම පාසලේ සිටීමය.
 
එසේ ම නොයෙක් ක්ෂේත්‍ර නියෝජනය කරමින් ක්‍රියාකාරී වන සංගම් පනහකට ආසන්න ප්‍රමාණයක් පෞරුෂය වර්ධනය කිරීම සඳහා විශාල කාර්යභාරයක් සිදු කරයි.

මෙහිදී පාසලට පමණක් නොව සහෝදර පාසල්වල දරුවන් සඳහාත් ඔවුන්ගේ දැනුම ආකල්ප කුසලතා සංවර්ධනය වන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වේ. තවද සමාජ සේවා අංශය තුළින් දිලිදු පාසල් නගාසිටුවීමට ද සෙනානායකීය පුතුන් අමතක නො කරයි.

සෞන්දර්ය අංශය අතීතයේ සිටම දිවයිනේ දක්ෂ සංගීත නැටුම් , චිත්‍ර , නාට්‍ය කලාවන් උගන්විය හැකි ගුරුමෑණිවරුන් , පියවරුන් රැසකගේ මග පෙන්වීම අනුව කටයුතු කර ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් ද ලබා ඇත.

ඒ අතර සිරස මාධ්‍ය ජාලය විසින් සංවිධානය කරන ලද ‘ද ඩිබෙටර්’ විවාද තරගාවලියේ ශූරතාවය ද එම මාධ්‍ය ආයතනය විසින් ම සංවිධානය කරන ලද ‘පෙන්ට්ලන්ට්’ තරගාවලියේ අනුශූරතාවය ද 2022 ශ්‍රී ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් ද නව නිපැයුම්කරුවන්ගේ වෙනුවෙන් සංවිධානය කරන ලද තරගාවලියේ දෙවන ස්ථානය ද ලබාගෙන ඇති ජයග්‍රහණ අතරින් කිහිපයකි.

පෙර අපර දෙදිග තූර්යවාදක කණ්ඩායම් සේ ම විද්‍යාලයේ වෙස් නැටුම් කණ්ඩායම ද සෙසු පාසල් අතර විශේෂ තැනක් හිමි කරගෙන ඇත.
 
වසරක් පාසා පැවැත්වූ ඕරා, පන්සිලු වැනි විවිධ ප්‍රසංග සෞන්දර්ය අංශයේ හැකියාවන් රටට ම විදහා දැක් වූ සෞන්දර්ය අංශයේ වැඩ සටහන් වේ.

පසුගිය වසර කිහිපය තුළ රටේ ඇති වූ කොරෝනා වසංගතය සමග එවැනි ප්‍රසංග පැවැත්වීමේ හැකියාව පසුගිය වසර දෙක තුන තුළ නොහැකි වුවත් සේනානායක පුතුන්ගේ සෞන්දර්යය හැකියාව විදහා දැක්වීමට අවස්ථාවන් උදාකර දීමට පාසල් පරිපාලනය ඉදිරියට කටයුතු කරනු නො අනුමානය.

විෂය බාහිර ක්‍රියාකාරකමක්ව පැවති වගාබිම් අස්වැද්දවීම වැනි කෘෂි කර්මය විෂය යටතේ විෂය හා බද්ධ වීමටත් ප්‍රථමයෙන් ඒ සඳහා වගා අවබෝධයෙන් යුතුව විද්‍යාලයේ ආරම්භයේ සිටම අලස් විදුහල්පති ගුරුපියාණන්ගේ මග පෙන්වීමෙන් ආරම්භ කරන ලදි.

1973 , 15 වසරේ දී පාසල්වලින් ඉහළ ප්‍රමිතියේ ගොවිබිමක් පවත්වා පිළිබඳ පැහැදුණ කොළඹ සිංහ සමාජ ..... එය වැඩි දියුණු කරගැනීමට උපකරණ ලබා දෙන ලද්දේ මෙම කටයුත්තේ තිබූ ප්‍රශංසනීය බව නිසාය. එම වසරේ විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයකට පැමිණි එවකට අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සශ්‍රීකව බැබළෙමින් තිබූ මිදි පොකුරු දැක ඒ අසල වූ සිසුවෙක් හෝ “පුතාලා මේවා කඩන්නේ නැත්තේ ප්‍රින්සිපල් සර් බනින නිසා දැයි ඇසීය.” - නෑ මැඩම් අපි මේවා කඩන්නැත්තේ ප්‍රින්සිපල් සර් බනින නිසා නොවෙයි අපි මේවා විකුණලා ලැබෙන සල්ලිවලින් ඉස්කෝලේ තීන්ත ගාන්න ඉන්නේ යැයි පැවසුවේය.
 
මේ තුළින් ම එදා ඩී.එස්. ‍දරුවන් තුළ පැවති ශික්ෂණයත් පාසලට ඇති ලැදියාවත් මනාව පැහැදිලිවේ. අද ද මෙම ගොවිබිම හැකි අන්දමින් පවත්වාගෙන යන්නේ නොයෙක් දුෂ්කරතා මැද ය.

විද්‍යාලයේ ජීවය රැඳී ඇත්තේ විද්‍යාලයේ සිසු දරුවන් අත ය. ඒ අනුව 1967 පාසලට ඇතුළත් වු පළමු දරුවන් ගේ කාණ්ඩය 1980 විදුහලෙන් පිට වත්ම විද්‍යාලයේ පළමු ආදි ශිෂ්‍යන් ලෙස ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවා රන්ජන් ජනක පෙරේරා වත්මන් (සොෆ්ට් ලොජික් ආයතනයේ අධ්‍යක්ෂක) පළමු සභාපතිවරයා ලෙස පත්විය.

එතැන් සිට පත් වූ සෑම ආදිශිෂ්‍ය සංගමයේ සභාපතිවරුන් ම එදා සිට අද දක්වා විද්‍යාලය සවියට දෙමාපිය සංගමය ලෙස එදා හැදින්වූ පාසල් සංවර්ධන සමිතිය පාසලේ කටයුතුවලදී අත්වැල් බැඳගෙන කටයුතු කරන්නේ පාසලේ දියුණුව වෙනුවෙනි.

පාසලක අධ්‍යාපනය ප්‍රමිතිය විනිශ්චය කරනු ලබන සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ එම විදුහලේ සිසුන් මුහුණ දෙන ජාතික මට්ටමේ විභාග ප්‍රතිඵලයයි. 1977 වන විට විද්‍යාලයට ඇතුළත් වූ පළමුවෙනි සිසුන් කණ්ඩායම අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගයට ඉදිරිපත් වීමට සූදානමින් සිටියේ ය.

පළමු වසරේ සිට සා.පෙළ දක්වා අවශ්‍ය පන්ති විදුහල තුළ ඉදිවුණි. අ.පො.ස. උසස් පෙළ හැදෑරීමට ඩී.ඇස්. සේනානායක විදුහලේ සිසුන් රාජකීය, ආනන්ද හා නාලන්ද විද්‍යාලය වෙතින් අධ්‍යාපන ලබා දීමට ආරම්භයේ එකඟ වී සිටි අතර 1977 වසරේ ගුරු දෙගුරු රැස්වීමේ දී ඉදිරිපත් වූ උ.පෙළ. සඳහා පහසු කම් නොමැතිවීම අඩුපාඩුවක් බව සාකච්ඡා කෙරුණි. මෙහිදි පළවූ එක් පියෙකුගේ අදහස මෙසේයි. 

“අපේ ඉස්කෝලේ ළමයි පුරුදු වෙලා තියෙන්නේ වෙනම ම සංස්කෘතියකට එයාලාට ගුරුවරු කතා කරන්නේ පුතා කියලා ළමයින්ට ගුරුවරුන්ට කතා කරන්නේ ගුරුමෑණියන්, ගුරු පියාණන් කියලා ළමයි කතා කරන්නේ අයියා මල්ලි කියල අනික අපේ පාසලේ සෑම ආගමකට ජාතිකයකට අයත් ළමයි ඉන්නවා, ආගම, ජාතිය වගේම කාරණා පදනම් වෙලා නෙමෙයි. අපේ පාසලට ළමයි රැඳවා ගන්නේ මෙහෙය විනය ගරුක පරිසරයක හැදිච්ච මේ ළමයි වෙනත් පාසල්වලට උසස් පෙළට යවන එක අපරාධයක්”

යන්න මෙහිදී ඉදිරිපත් වූ අදහසකි. “අපි කොහොම හරි උත්සහ කළොත් උසස් පෙළ පන්ති ලබන අවුරුද්දේ ඉදලා පටන් ගන්න බැරිවෙන එකක් නෑ අපේ ඉස්කෝලේ කිසිම අඩුවක් නැති සම්පූර්ණ පාසලක් වෙනවා යනුවෙනි” එය සැමගේ ම අදහස විය.

උසස් පෙළ ආරම්භය සඳහා අභියෝග රැසක්ම ඉදිරියේ විය. ඒවා අතර පන්ති කාමර, සුදුසුකම් සපිරූ ගුරුවරුන්, විද්‍යාගාර පහසුකම් පමණ නොව උසස් පෙළ, පවත්වන පාසලක අවශ්‍ය විදුහල්පතිවරයෙක් ද අවශ්‍ය විය. එය හේතුව වූයේ අලස් ගුරු පියාණන් එවැනි පාසලක විදුහල්පති පදවියට වැඩ කරන්න සුදුසුකම් සපුරා නොතිබීමයි. ‍නමුත් තමාගේ ප්‍රශ්නය නිසා පාසලේ අභිවෘද්ධිය අහුරාලීමට නොසිතූ අලස් විදුහල්පතිතුමා අධ්‍යාපන අමාත්‍යංශයට දන්වා ඒ සඳහා අනුමැතිය ලබා උසස් පෙළ ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරන ලදි.

එසේම ඉදිරිපත් වූ අභියෝග ජයගනිමින් උසස් පෙළ පංති ආරම්භ වූ ඩී.ඇස්. සේනානායක විද්‍යාලය එතැන් සිට පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා අධ්‍යයන කටයුතු සිදුකරන අංග සම්පූර්ණ පාසලක් බවට පත්වූයේ ය. එතැන් සිට දිනෙන් දින අධ්‍යාපන අංශයෙන් සංවර්ධනය වූයේ එම පාසලේ ආරම්භයට සහ උන්නතියට උරදුන් සැමදෙනාගේ අභිප්‍රායන් මල්ඵල ගන්වමිනි. 

පළමු අ.පො.ස. සා/පෙළ විභාගය සඳහා ඉදිරිපත් වූවන්ගෙන් සිංහල මාධ්‍ය 80% ද දෙමළ මාධ්‍ය 64% ද ඉංග්‍රීසි මාධ්‍යයෙන් 62% ක ප්‍රතිශතයක් සමත් විය. එසේ ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉදිරිපත් වූ ඇලම් ලුඩොවයික් සිසුවා එම මාධ්‍යයෙන් ලංකාවේ වැඩිම ලකුණු ලබා සමත් වූ සිසුවා වීමෙන් විද්‍යාලයට විශාල කීර්තිය අත්විය. වසරින් වසර මෙම විභාගයේ ප්‍රතිඵල සංවර්ධනය කරා ගැනීම සඳහා පාසල් ආරම්භ එනම් පෙ.ව. 7.30 ට පෙර ද ප.ව. 1.30 පසුව ද ප්‍රතිපෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිසුන්ගේ විෂය දැනුම සංවර්ධනය කරමින් ආ මග 2015 වසරේ දී A සාමාර්ථ්‍ය නවය ලබාගත් සිසුන් සංඛ්‍යාව 110 දක්වා වර්ධනය කර ගත් අතර 2021 වසර වන විට A සාමාර්ථ්‍ය 9 ලබාගත් සිසුන්ගේ සංඛ්‍යාව වැඩි කරගෙන සමත්ව ඇත්තේ ගුරුමණ්ඩලයේ හා අධ්‍යාපන සංවර්ධන අංශයේ ඇපකැප වීම නිසා බව සඳහන් කළ යුතු ය.

අභියෝග රැසක් යටතේ ආරම්භ වූ උසස් පෙළ අද වන විට කලා වාණිජ භෞතික හා ජීව විද්‍යා අංශ පමණක් නොව තාක්ෂණවේදය විෂය මාලාවන් හදාරන සිසුන් ද මෙම විද්‍යාලය උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි එදා සිට මේ දක්වා දිවයිනේ පෙරමුණ ගෙන උසස් පෙළ විභාගයෙන් සමත් වූ නම් අතර සෙන්පති පුතුන් ගේ නම් ද සඳහන් වේ. එසේම ලංකාවේ වෛද්‍ය , ඉංජිනේරු, නීති, කලමනාකරණ ක්ෂේත්‍රවල විශිෂ්ටත්වයකට පත් වූ විශිෂ්ටයන් රැසක් දිවයින පුරා පමණක් නොව විදෙස්ගතව සේවය කරයි.

එසේ තමාට පෙර රට ආදර්ශය පෙරටු කරගත් රට රැකීමේ කාර්යයේ යෙදී සිටින වීරෝදාර ත්‍රිවිධ හමුදාවේ ජ්‍යේෂ්ඨයන් රැසක් ද බිහි වී ඇත. එසේම රට දැය වෙනුවෙන් තම දිවිය පුදකළ විරුවන් වෙනුවෙන් නිර්මාණය වූ රණවිරු ස්මාරකය එයට කදිම නිදසුනකි.

එසේ ම අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂය සංගමයේ මැදිහත් වීමෙන් වර්තමානයේ පාසලේ සියලුම පන්ති කාමර සඳහා “Smart Board සවිකර ඒ සඳහා සුදුසු wi-fi කලාපයක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් මිදී ශීඝ්‍රයෙන් වෙනස්වන දැනුම් ලබා ගැනීමට අවස්ථාව ලබාදී තිබීම මෙම පාසලේ තවත් සුවිශේෂත්වයකි.

පනස්හය වසරක් ඩී.ඇස්. සේනානායක ගමන්මඟ පිළිබඳ කතා කිරීමේදී අමතක නොකළ යුතු විදුහලට සේවය කළ විදුහල්පතිවරුන් කීප‍ දෙනෙක් සිටී. පී. සමරසිංහ, ධර්මසේන, එම්.ඒ.ජේ.ඒ. මායාදුන්න, සෝමබන්දු කොඩිකාර, ජී.සී. අධිකාරි යන විදුහල්පති ගුරුපියවරුන්ගේ කැපවීමද අගය කළ යුතුය. තවද ඉන්පසුව විදුහල්පතිධූරය දැරූ අශෝක සේනානි ගුරුපියාණන්ගේ අවධියේ විද්‍යාලයේ කීර්තිය රටපුරා ප්‍රචලිත වූයේ විද්‍යාලයේ සංවර්ධනය අධිවේගීව ගමන් කළ නිසාය.

ඒ අතර නව ක්‍රීඩා සංකීර්ණය, අලස් ශාලාව නවීකරණය කිරීම, පරිසර හිතකාමි ප්‍රාථමික අංශයක් නිර්මාණය කිරීම වැනි කටයුතු විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදුවූයේය. ඉන් පසුව ඩී.එම්.ඩී. දිසානායක, ආර්.එම්.එම්. රත්නායක, ප්‍රසන්න උඩුමුහන්දිරම් යන විදුහල්පති ගුරුපියවරුන් එම තනතුරු දරමින් පාසලේ දියුණුවට කටයුතු කළේ ය. 

එදා මෙදා තුර අලස් ගුරුපියාණන්ගේ මග ඔස්සේ යමින් මෙම පාසල මෙහෙයවන ලදි. විදුහල්පතිවරු දහදෙනෙක් පමණ පාසලේ උන්නතිය වෙනුවෙන් සේවය කර ඇත.

වර්තමානයේ මෙම පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරන්නේ සම්පත් වේරගොඩ ගුරුපියාණන්ය. මෙතුමා දිවයිනේ කීර්තිමත් පාසල් රැසක විදුහල්පති වශයෙන් සේවය කිරීමෙන් හා අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන පරිපාලනය සම්බන්ධ ‍තනතුරු කිහිපයක් දැරීමෙන් ලැබූ මනා පරිචයක් ලබා සිටින්නෙකු බව පාසලට පැමිණ කෙටි කාලයකින් අවබෝධ විය.

පාසලේ සිසුන්ගේ විනය අධ්‍යාපනයට වැදගත් වන බවත්, පාසල තුළ අධ්‍යාපනයට මුල්තැනක් දෙමින් සමබර පෞරුෂයකින් හෙබි සිසු පරපුරක් බිහි කිරීමට විෂය සමගාමී හා ක්‍රීඩාව අවශ්‍ය බවත් ඒ සඳහා සිසුන් යොමු කළ යුතුයි යන ආකල්පය තුළ සිටිමින් කටයුතු කරමින් සිටි අධ්‍යාපන අංශයෙන් අ.පො.ස. (සා.පෙළ) පවතින ප්‍රතිඵල තව දුරටත් ඉහළ නංවමින් සා.පෙළට පෙනී සිටින සියල්ල ම සමත් කර උසස් පෙළ වෙත යොමු කිරීමත් උසස් පෙළ විශ්ව විද්‍යාල සමත්වන්නන්ගේ ප්‍රතිශතය තවත් ඉහළ ගෙන ඒමට සැලසුම් සකස් කරමින් සිටින්නේ ඩී.ඇස්. ‍පවුලේ සියල්ලන් තුළම පාසල පිළිබඳ හා එහි උන්නතිය පිළිබඳ අලුත් බලාපොරොත්තු රැසක් ජනිත කරමින්ය.

ආරම්භක විදුහල්පතිතුමා නිතරම පැවසුවේ මෙම පාසලේ දියුණුවේ රහස වූයේ මෙම පාසල ගොඩ නැගීමට මුල් වූ සිසුන්, ගුරුවරුන්, දෙමාපියන් හා ආදි ශිෂ්‍යයන් නැමති කුලුණු හතර බවයි. ඔවුන්ගේ එකමුතුකම හා කැපවීම නිසා මෙම පාසල අවුරුදු පනස් හයක් තුළ දී මේ සා විශාල දියුණුවට හිමිකම් කීමට හැකියාව ලැබී ඇත.

ඒ අනුව මෙම කුලුණු හතරේ ශක්තිය වත්මන් විද්‍යාලයාධිපති සම්පත් වේරගොඩ ගුරු පියාණන්ට ලබා දී එතුමාගේ අභිප්‍රාය අනුව මෙම පාසල ඉදිරියට ගෙන යාමට හැකිවෙතැ යි ඩී.ඇස්. පවුලේ සැම දෙනාගේම එකම බලාපොරොත්තුවයි. 

 

කාංචනා පෙරේරා මිය-

මාධ්‍ය ඒකකය භාර ආචාරිණී

ඩී.ඇස්. සේනානායක විද්‍යාලය

කොළඹ