Tuesday, May 7, 2024

General line - 0115112241

වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සඳහා නව රෝහල් හඳුනා ගැනීමට ජනපතිගෙන් කමිටුවක්




රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි අනෙකුත් විශ්ව විද්‍යාලවල වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිත කිරීමට සුදුසු රජයේ රෝහල් හඳුනා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොලගේ සභාපතිත්වයෙන්.

සෞඛ්‍ය අමාත්‍යශංයේ අතිරේක ලේකම්වරුන් වන ආර් එම් එස් කේ රත්නායක, ඒ කේ එස් ද අල්විස්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය මහාචාර්ය මොහාන් ද සිල්වා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශෛල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය භවන්ත ගමගේ ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් රැසක් එම කමිටුවට පත් කර තිබෙනවා. 

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් සහ කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ඇති විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන වෛද්‍ය සිසුන් සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිතයට යොදා ගැනීමට සුදුසු රජයේ රෝහල් අධ්‍යයනය කිරීම, සමාලෝචනය කිරීම, හඳුනා ගැනීම සහ සායනික පුහුණුව ලබාදීමට ඇති හැකියාව එම කමිටුව මගින් සොයා බැලීමට නියමිතයි. 

ඒ අනුව හඳුනා ගනු ලබන රෝහල් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය සංවර්ධන කටයුතු පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කළ යුතු අතර සති 08 ක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසයි ජනාධිපතිවරයා එම කමිටුවට උපදෙස් ලබාදී ඇත්තේ.