Wednesday, May 1, 2024

General line - 0115112241

අටමස්ථානයේ වාහන ගැන අධිකරණයෙන් තීන්දුවක්

උපාලි ආනන්ද




අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ රුපියල් කෝටි එකොලහකට අධික වටිනාකමින් යුත් අධි සුඛෝපභෝගි වාහන හතර සම්බන්ධයෙන් අනුරාධපුර දිසා අධිකරණය අද නියෝගයක් ලබා දුන්නා.

එම වාහන අතරින් ජීප් රථයක, මෝටර් රථයක සහ කැබ් රථයක අයිතිය වත්මන් අටමස්ථනාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට හෝ අටමස්ථාන කාරක සභවට පවරන ලෙසයි අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නදීකා පියරත්න නියෝග කළේ. එමෙන්ම, අනෙක් ජීප් රථයේ අයිතිය පමණක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකුට පවරන ලෙසටද නියෝග කර තිබෙනවා.

අදාළ වාහන හතරෙහි අයිතිය සම්බන්ධයෙන් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පැවති නඩුව සමථයට පත් කර ගැනීමට මෙම නඩුවේ පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන් ඇති කර ගත් සමථ එකඟතාවයක් සළකා බලමින් අධිකරණය මෙම නියෝගය ලබා දුන් බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. ඒ අනුව මෙම නඩුව අවසන් කිරීමටද නියෝග කර තිබෙනවා. 

අනුරාධපුර නගරයේ බැංකු පෙදෙසේ ව්‍යාපාරිකයකු වන  පී එම් චන්දානන්ද යන අය අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පවරා තිබූ මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස අනුරාධපුර වත්මන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්, අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධි බෝමළුව විහාරවාසී පූජ්‍ය කැකිරාවේ ඤාණසිරි හිමියන් සහ අනුරාධපුර ථූපරාමාධිකාරි පූජ්‍ය කහල්ලේ ඥාණින්ද හිමි සහ අටමස්ථාන කාරක සභාව නම් කර තිබුණා.

පෙත්සම්කාර පී එම් චන්දානන්ද යන අය අනුරාධපුර දිසා අධිකරණය හමුවේ මෙම නඩුව පවරමින් පවසා ඇත්තේ අනුරාධපුර නගරයේ කීර්තිමත් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන තමා අටමස්ථානධිපතිව සිටි  පල්ලේගම සිරිනිවාස නාහිමියන් සමග වසර 19 ක කාලයක් ඇසුරු කළ බවයි.

පල්ලේගම සිරිනිවාස නාහිමියන් අසනීප තත්වයෙන් සිටි සෑම අවස්ථාවකදීම අවශ්‍ය කටයුතු සපයා දෙමින් තම පියකු මෙන් රැක බලා ගත්තේ තමන් බවද පැවසූ පෙත්සම්කරු පූජ්‍ය සිරිනිවාස නාහිමියන් අපවත් වන අවස්ථාවේ දී ඇප උපස්ථාන සඳහා කැපවී සිටි පුද්ගලයා තමන් බවද ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම, සිරිනිවාස නාහිමියන් ජීවත්ව සිටි කාලයේ එම හිමියන් විසින් උපයා සපයා ගත් සාංගික නොවන තම පුද්ගලික ධනයෙන් දේපල කිහිපයක් මිලදී ගත් බවත් එම දේපල වල නිර්වද්‍යතාවය සොයා බැලුවේ තමන් බවත් පෙත්සම්කරු වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.