Friday, January 24, 2025

General line - 0115112241

18 වංගුව රථ වාහන ධාවනයට යළි විවෘත කෙරේ




තාවකාලිකව වසා දමා තිබූ මහනුවර - මහියංගණය ප්‍රධාන මාර්ගය අද පෙරවරුවේ සිට රථ වාහන ධාවනය සදහා යළි විවෘත කර තිබෙනවා.  

18 වංගුව මාර්ගයේ දෙවන වංගුව ප්‍රදේශයට පස් කදු හා ගල් කඩා වැටීමේ අවදානමක් හේතුවෙන් එම මාර්ගය වසා දැමුණේ ඊයේ පස්වරුවේ සිටයි. අදාළ මාර්ගයට කඩා වැටුණු පස් සහ ගල් ඉවත් කර එම මාර්ගය යළි විවෘත කිරීමට පියවර ගත් බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර කොස්ලන්ද, පූනාගල වත්තේ කබරගල කොටසේ ඊයේ රාත්‍රියේ සිදුවූ නායයාමකින් නිවාස 3 කට හා වෙළදසැලකට හානි සිදුව තිබෙනවා. එම සිද්ධියෙන් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

ඒ අතර කාන්තාවන් තිදෙනෙකුද වනවා. තුවාල ලැබූවන් කොස්ලන්ද හා දියතලාව රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් නිවුස් වාර්තාකරු පැවසුවේ. නායයාමේ අවදානම් තත්ත්වය හේතුවෙන් කබරගල කොටසේ පුද්ගලයන් 200 ක් පමණ ඔවුනගේ නිවාසවලින් ඉවත් කර පහළ පූනාගල විද්‍යාලයේ තාවකාලිකව නතර කර ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.