Friday, January 24, 2025

General line - 0115112241

පොළොන්නරුව යට වුණේ පසුගිය පාලනයේ වරදින් - හිටපු ජනපති මෛත්‍රීගෙන් ප්‍රකාශයක්




අධික වර්ෂාවත් සමග පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිතැන් සහ දේපළ විනාශ වීමෙන් පොදු මහජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

අනුරාධපුරයට සහ වයඹට මොරගහකන්දෙන් ජලය ගෙන යන ඇල මාර්ග ඉදිකිරීම් 2019 සහ 2024 කාලසීමාව තුළ පැවති ආණ්ඩු ක්‍රියාත්මක නොකිරීම ඊට හේතුව බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ. 

ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා. 

මොරගහකන්ද සහ කළුගඟ ජලාශවලින් එකතු වන ජලය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ මිනිපේ ජලාශයට පමණක් ගලා යන බැවින් 2019 වර්ෂය වන විට අනුරාධපුරයට සහ වයඹට මොරගහකන්දෙන් යන ජලයට කිලෝ මීටර් 15ක් 20ක් පමණ ඇළ මාර්ග ඉදි වෙමින් පැවතුණු බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

එහෙත් 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වයඹ සහ අනුරාධපුරයට යන ඇළ මාර්ග ඉදිකිරීම් එවකට පැවති ආණ්ඩුවලින් ක්‍රියාත්මක නොවූ බවත් එම කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබුණු බවත් අදාළ නිවේදනයේ සඳහන්.
 

2019 වර්ෂයේ සිට 2024 වර්ෂය වන විට වයඹට සහ අනුරාධපුරයට යන එම විශාල ඇළ මාර්ග කපා තිබුණේ නම් පොළොන්නරුවට මෙවැනි විනාශයක් සිදු නොවන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ.  
 

වර්තමාන රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර අනුරාධපුරයට සහ වයඹ පළාතට ජලය ගෙන යන ඇළ මාර්ග ඉදි කිරීම ආරම්භ කළ හොත් ඉදිරියේදී පොළොන්නරුවට මෙවැනි විනාශයක් සිදු නොවන බවද ඔහු පෙන්වා දෙනවා. 

දැනට පොළොන්නරුවට යන මොරගහකන්ද සහ කළුගඟේ ජලය මහවැලි ගංඟාවට වැටී මුහුදට විශාල ජල ප්‍රමාණයක් ගලා බසිනවා. 

එබැවින් වයඹ පළාතට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට ඇති ජලය මොරගහකන්දෙන් අපතේ නොයවා අදාළ පළාත්වලට ලබා දීමට හැකි ඇළ මාර්ග ඉදි කිරීමට කටයුතු කරන ලෙස වර්තමාන රජයෙන් ඉල්ලා සිටින බවද මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන් කර තිබෙනවා.