Tuesday, May 7, 2024

General line - 0115112241

නව පොලිස්පති තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය ගැන සරසවි ඇඳුරන් ප්‍රශ්න කරයි




නව පොලිස්පතිවරයා තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය සහ තෝරා ගැනීමේ නිර්නායකත්, එම පත් කිරීමේදී පක්ෂග්‍රාහී වාසි වෙනුවෙන් ව්‍යවස්ථාමය ක්‍රියාපටිපාටීන් උල්ලංඝණය කර තිබීමත් යන කරුණු සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල පළ කරන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

එම සම්මේලනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මීලග පොලිස්පතිවරයා පත් කිරීම අදාළ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන මගින් අපේක්ෂා කරන විනිවිදභාවයකින් යුත් ක්‍රියාපටිපාටියකින් තෝරා ගත යුතු බවයි. 

එම තනතුරට නොගැලපෙන පුද්ගලයෙකු නම් කිරීම සහ පත් කිරීම මහජනයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්න කිරීමටත්, රජය කෙරෙහි පවතින අවිශ්වාසය තව තවත් තියුණු කර ගැනීමටත් හේතුවනු ඇති බව ද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පෙන්වා දෙනවා.

එම භාරදූර තනතුර සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ට එරෙහිව අධිකරණයෙහි සාපරාධී හෝ මූලික අයිතිවාසිකම් නඩු නොපැවතීම අත්‍යවශ්‍ය කරුණක් බව ද එම සම්මේලනය නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් පොලිස්පති තනතුරට පත් කරන පුද්ගලයා අනුමත කිරීමට භාවිත කරන නිර්නායක ජනතාව අතර ප්‍රසිද්ධියට පත් කරන මෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා සිටින බවයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.