Friday, April 26, 2024

General line - 0115112241

නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය අද සිට මෙරට පාසල් අධ්‍යාපනයට එක් කෙරෙයි




විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගින් දරුවන්ට ප්‍රායෝගිකව වටහා ගැනීමට අවස්ථාව සැලසීමේ මූලික අරමුණ ඇතිව නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය අද සිට මෙරට පාසල් අධ්‍යාපනයට එක් කෙරුණා.

ඒ අනුව විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය හා මුසු වූ කලා විෂයන් සහිතව නව ක්‍රමවේදය ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ.

ස්ටීම් අධ්‍යාපනය, අමෙරිකාව ප්‍රමුඛ ලොව පුරා රටවල් 96ක පමණ භාවිත වන ඉතා සාර්ථක අධ්‍යාපන ක්‍රමවේදයක්. එහිදී විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය යන විෂය හතර මූලික කරගෙන ස්ටෙම් නමින් මෙම නව අධ්‍යාපන ක්‍රමවේදය හඳුන්වා දුන්නා. ඒ, ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික විද්‍යා පදනම විසින් 1999 වසරේ දීයි. අද වන විට එය සංවර්ධනය වී කලා විෂයන් ද ඇතුළත්ව තිබෙනවා.

කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, ජෛව හා නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය වැනි ලොව නැගී එන විෂයන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට මෙන්ම පාසල් අධ්‍යාපනයටත් ඇතුළත් විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ.

කෘත්‍රීම බුද්ධිය හේතුවෙන් ඉදිරියේ දී රැකියා අහිමි වන මිලියන 300ක ජනතාව වෘත්තීය ක්‍රියාදාමයට අනුගත කරගැනීමේ වැඩපිළිවෙළටද ශ්‍රී ලංකාව එක්විය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.