Thursday, May 2, 2024

General line - 0115112241

රහස්‍ය තොරතුරු රැසක් හෙළි වීමෙන් අමෙරිකාව අසරණ වෙයි




අතිශය රහස්‍ය දත්ත ඇතුළත් ලේඛන රැසක් අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියට පත්වීම හමුවේ අමෙරිකාව දැඩිව අපහසුතාවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම රහස්‍ය දත්ත පෙන්ටගනයට අයත් ඒවා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එලෙස ප්‍රසිද්ධියට පත් රහස්‍ය දත්ත අතර අමෙරිකාවේ මිත්‍ර පාර්ශව සහ ප්‍රතිවිරුද්ධ පාර්ශව සම්බන්ධයෙන් ඔත්තු බලන ආකාරය පිළිබඳ දුර්ලභ තොරතුරු වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ මෙම අනාවරණත් සමග අමේරිකාවට ඔත්තු සපයන මූලාශ්‍ර තර්ජනයට ලක් විය හැකි බවයි. එමෙන්ම මෙම හෙළිදරව් කිරීම් හරහා අමෙරිකාවේ විදේශ සබඳතාවලට තර්ජනයක් එල්ල විය හැකි බවට අමෙරිකානු බලධාරීන් බිය පළ කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

එලෙස අන්තර්ජාලයට මුදාහැර ඇති රහස්‍ය දත්ත අතර අමෙරිකාව විසින් දකුනු කොරියාව, ඊශ්‍රායලය සහ යුක්‍රේනය ඇතුළු සිය සමීප මිත්‍රපාර්ශවීය රටවල සංවාද සඳහා රහසේ සවන්දීම වැනි අතිශය සංවේදී කරුණු බව බව ද පැවසෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇතැම් දත්තවල අඩංගු වන්නේ යුක්රේන යුද්ධයට අමෙරිකාවේ මැදිහත්වීම සහ රුසියානු බුද්ධි අංශවල තොරතුරු අනාවරණ කර ගත් ආකාරය සහ ඒවා සඳහා සන්නිවේදන සබඳතා ගොඩ නගා ගත් ආකාරය සම්බන්ධයෙන් බව ද වාර්තා වනවා.

එමෙන්ම යුක්රේන හමුදා රුසියානු හමුදාවට එරෙහිව ප්‍රතිප්‍රහාරයක් දියත් කිරීමේ සැලසුම්, යුක්‍රේන ආයුධ ගබඩා පිළිබඳ තොරතුරු, ගුවන් ආරක්ෂක සහ බලඇණි සම්බන්ධයෙන් මෙන්ම යුක්රේනයේ ප්‍රධාන දුර්වලතා ද මෙම තොරතුරු හරහා හෙළි කර ඇතැයි සඳහන්.

ඒ හමුවේ යුක්රේනය මේවනවිටත් යුද බිමේ සිය හමුදා සැලසුම් කිහිපයක් වෙනස් කර ඇති බවයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කිට සමීප මූලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම සංවේදී රහස්‍ය දත්ත අමෙරිකානුවෙකු විසින්ම ප්‍රසිද්ධියට පත් කර ඇති බවට අමෙරිකාව සැක පළ කරනවා.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. පවතින තත්ත්වය හමුවේ පෙන්ටගනය සිය රහස්‍ය ලියවිලි සහ දත්ත පද්ධතිවල ආරක්ෂාව තර කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.