Sunday, January 26, 2025

General line - 0115112241

රට වෙනුවෙන් ඉදිරියට යාමට අලුත් අවුරුද්ද ඇරඹුමක් කර ගත යුතු බව ජනපති කියයි




සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයත් සමඟ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනතාවට ඉතාමත් ප්‍රීතිමත් අවස්ථාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ සියලු ජනතාව එකම නැකතකට චාරිත්‍ර ඉටු කරන්නේ සෞභාග්‍යයේ සහ සශ්‍රීකත්වයේ අපේක්ෂාව පෙර දැරිව බවයි. පසුගිය වසරේ අලුත් අවුරුද්ද එළඹෙද්දී අප සැවොම මැදිව සිටියේ දැවැන්ත අර්බුදයකටයි.

අවුරුදු සැමරීම පසෙකලා එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමේ අරගලයකට මැදිව සිටි නමුත් මෙවර අලුත් අවුරුද්ද එළඹෙනුයේ සියලු දෙනාට කිසියම් සහනදායී පරිසරයක් උදාකරමින් බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

අප වෙහෙසිය යුත්තේ, අප උත්සහ කළ යුත්තේ එළඹෙන අලුත් අවුරුද්ද අදටත් වඩා භාග්‍යවත් හා සමෘධිමත් කර ගැනීමට බවද ජනාධිපතිවරයා පවසනවා. එම ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගත හැක්කේ සියලු දෙනා එකට එක්ව එක මවකගේ දරුවන් ලෙස එක මඟක ඉදිරියට යාමෙන් පමණයි.

එබැවින් පක්ෂ, පාට, ජාති, ආගම් භේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද ඇරඹුමක් කර ගත යුතු බව ජනාධිපතිවරයා පවසනවා. මෙම අලුත් අවුරුද්ද පමණක් නොව අනාගතයද සුභ වනුයේ එවිට බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ අලුත් අවුරුදු පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පසුගිය වකවානුව අපට සිතන්නට බොහෝ දේ ඉතිරි කොට ඇති බවයි. රෝග ව්‍යවසන, ආර්ථික හා සමාජීය අර්බුද මෑත ඉතිහාසයේ අප නොදුටු ඒවා බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. ඒවා යළිඳු නොදකින්නට, මත පරපුරට ඒවා ඉතිරි නොකරන්නට නවමු සංකල්පයන් තුළින් පෝෂිත අලුත් අවුරුද්දක් අරඹමු යන්න අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ අලුත් අවුරුදු පණිවිඩයේ සඳහන්. 

2023 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සුභාශිර්වාදයෙන් සපිරිණු යහපත් සිතුම් පැතුම් ඉටුවන, නිරෝගී සමපත් උදා කර දෙන වසරක් වේවායි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

අලුත් අවුරුද්දේ වැය බර වැඩි කරන මෙවලම්, උපකරණ රැසක් ගේ තුළට ගොඩගසා ගන්නවාට වඩා වටින්නේ සිතිවිලි වල යහපත් වෙනසක් බවයි කථානායකවරයා පවසන්නේ. කුඩා දරුවෙකුට මෙම ආදර්ශය එක් වරම උගෙන ගත නොහැකි වුවත් වැඩිහිටි අප සැවොම සිටින්නේ එක් රුපියලක් හෝ අපතේ යැවිය නොහැකි තරම් අසීරු තත්ත්වයක බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය අලුත් අවුරුදු පණිවිඩයෙන් පෙන්වා දෙනවා. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ සමාජ සම්බන්ධතා වැඩි දියුණු වීමටත්, පැරණි සිරිත් විරිත් නොනැසී ඉදිරියට පවත්වා ගැනීමටත්, එකිනෙකා අතර අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු වීමටත් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඉවහල් වන බවයි. 

අන්ධකාර සමය නිමා වී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෞභාග්‍ය සම්පන්න දීප්තිමත් අනාගතයක් උදෙසා අධිෂ්ඨානශීලීව පෙළ ගැසීමේ ශක්තිය රටේ සමස්ත පුරවැසි පරපුරට ලැබේවායි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ අලුත් අවුරුදු පණිවිඩයේ සඳහන්.