Thursday, May 2, 2024

General line - 0115112241

ගම්පහ ගව සොරකම් ඉහළ යයි




ගම්පහ දිස්ත්‍රික්කයේ ගව සොරකම් ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

අඩු තරමින් එම දිස්ත්‍රික්කයේ ගවයින් හයදෙනෙකු හෝ හත්දෙනෙකු දිනපතා සොරකම් කරන බවට පැමිණිලි ලැබෙන බවයි කෘෂි බලධාරින් පවසන්නේ.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් කිරිදෙනුන් 35 ත් 40 ත් අතර ප්‍රමාණයක් මාසයකදී සොරකම් කරන බවටයි කෘෂි බලධාරීන් පවසා ඇත්තේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැති අන්තර් පළාත් කෘෂිකර්ම නිලධාරීන්ගේ සාකච්ඡාවකදී එම කරුණු අනාවරණ වී තිබෙනවා.

දිනකට කිරි ලීටර් 15 ත් 30 ත් අතර ප්‍රමාණයක් ලබාදෙන එළදෙනුන් එලෙස දිනපතා සොරකම් කිරීම හේතුවෙන් ඉදිරියේදී කිරි හිඟයක් පවා ඇතිවීමට ඉඩකඩ ඇති බවයි කෘෂි බලධාරීන් එහිදී අනතුරු අගවා ඇත්තේ. 

සුඛෝපභෝගී වෑන්රථ වලින් පැමිණෙන පිරිලස් රාත්‍රී කාලයේදී ගව මඩුවල බැඳ සිටින කිරිදෙනුන් එලෙස සොරාගෙන යන බවටයි එම සාකච්ඡාවේදී කෘෂි බලධාරීන් අනාවරණ කර ඇත්තේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ද ගව සොරකම් ඉහළ යමින් ඇති බව එම නිලධාරීන් පවසා තිබෙනවා.

එහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා එම අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත්තේ පොලීසිය මගින් දැනට රාත්‍රී කාලයේ සිදුකරන මුර සංචාර ඉහළ දැමීම, වාහන පරීක්ෂා කිරීම වැඩි කිරීම සහ ගව සොරුන්ට දැනට ලබා දෙන දඩුවම් වැඩි කිරීම සම්බන්ධයෙන් අදාළ අංශ වෙත කරුණු දන්වා ලිපියක් යොමු කරන ලෙසයි.