Wednesday, May 8, 2024

General line - 0115112241

IMF ණය මෙන් දෙගුණයක වන්දිය රටට අහිමි වෙයිද ?




එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරට සමුද්‍ර පරිසරයට සිදුවූ හානි සඳහා වන්දි අයකර ගැනීමේ නඩුව සිංගප්පූරු අධිකරණයට පැවරීමට හේතුවූ කරුණු මොනවාදැයි ආණ්ඩුව පැහැදිලි කළ යුතු බව පරිසරවේදීන් පවසනවා.

පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ පැවසුවේ මෙරට අධිකරණ පද්ධතියේ නඩු පැවරීම සහ සිංගප්පූරු අධිකරණයක නඩු පැවරීම අතර වෙනස්කම් පිළිබඳ අදාළ අංශ පැහැදිලි විශ්ලේෂණයක් කළ යුතු බවයි.


අදාළ සිද්ධිය හේතුවෙන් සිදුවූ හානිය ලෙසට ගණන් බලා ඇති ඩොලර් බිලියන 6 යි දශම 4 ක වන්දිය එම නඩු කටයුත්ත මඟින් ලබා ගැනීමට නොහැකි වුවහොත් එහි වගකීම භාර ගන්නේ කවුරුන්දැයි ඊට අදාළ තීරණ ගත් පාර්ශව ප්‍රකාශ කළ යුතු බවද නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ මෙහිදී කියා සිටියා.


රසායනික බහාලුම් සහිත එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වුණේ 2021 වසරේ මැයි මස 19 වනදායි.

සමුද්‍ර දූෂණ වැළැක්වීමේ ආඥා පනතට අනුව එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් වන්දි අයකර ගැනීම සඳහා වසර දෙකක් ඇතුලත නඩු පැවරිය යුතු වනවා.

එහෙත් ශ්‍රී ලංකා රජය මේ දක්වා එවැනි අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. 

කෙසේවෙතත් සමුද්‍ර ආරක්ෂණ ආඥා පනතේ 50 වන වගන්තියට අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙරට අධිකරණ පද්ධතිය තුළ නඩු පැවරීමේ බලයක් නීතිපතිවරයාට පවතින බවයි පරිසර හා සොබදම් අධ්‍යන මධ්‍යස්ථානය පවසන්නේ.

මේ, එහි ජාතික සංවිධායක පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්.


සිංගප්පූරු අධිකරණය හමුවේ එම නඩුව පැවරීම මෙරටට අවාසිදායක බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මෙරට අධිකරණ පද්ධතිය තුළ නිසි පරිදි අදාළ වන්දි නඩුව පැවරුවේ නම් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාගැනීමට නියමිත සම්පූර්ණ ණය මුදල මෙන් දෙගුණයක වන්දියක් අයකර ගැනීමේ අවස්ථාවක පැවති බවයි පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් වැඩිදුරටත් පෙන්වාදුන්නේ.