Tuesday, April 30, 2024

General line - 0115112241

රාජාභිෂේකය සඳහා බ්‍රිතාන්‍ය සීරුවෙන් - ලන්ඩනයේ වීථි ජනයාගෙන් පිරීයයි




දශක 07 කින් පමණ පසුව පැවැත්වෙන උත්කර්ෂවත්ම උත්සව අවස්ථාව සඳහා බ්‍රිතාන්‍යයේ  මේවනවිට සියළු කටයුතු සූදානම්.

චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ් සිය මව් උරුමයෙන් හිමිවන බ්‍රිතාන්‍යයේ  රාජකීය කිරුළ හිස පළඳා ලොවම බලා සිටියදී බ්‍රිතාන්‍යයේ  03 වන චාල්ස් ලෙස අභිෂේක ගැන්වෙන දිනය අදයි.

බ්‍රිතාන්‍යයේ  රජ පවුලට ආදරය කරන බ්‍රිතාන්‍යයේ වැසියන් දහස් ගණනක් මේවනවිටත් ලන්ඩන් අගනුවර වීථිවලට රැස්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බ්‍රිතාන්‍ය වේලාවෙන් උදෑසන 11 ට පමණ රාජාභිෂේකයේ කටයුතු ආරම්භවීමට නියමිතයි. සාම්ප්‍රදායානුකූලව ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය තුළ එම කටයුතු සිදු කෙරෙනු ඇති.

බ්‍රිතාන්‍යය රජයේ නිල ආරාධනාව ලැබූ ලොව රටවල රාජ්‍ය නායකයින් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 100 කට වැඩි පිරිසක් චාල්ස් රජු රාජකීය කිරුළ හිස පළඳන අවස්ථාවේ ඇසින් දුටු සාක්ෂිකරුවන් ලෙස සහභාගී විම සඳහා වෙස්ට්මිනිස්ට්ර් ඇබේ දේවස්ථානය වෙත පැමිණීමට නියමිතයි.

ලොව බලවතා වන අමෙරිකාව නියෝජනය කරමින් ජනාධිපති ජෝ බයිඩ්න්ගේ බිරිඳ වන ජිල් බයිඩ්න් වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ ප්‍රධාන ආරාධිතයින් අතර අසුන් ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම අවස්ථාව ජාත්‍යන්තර මාධ්‍ය හරහා සජීවීව විකාශය කිරීමට නියමිතයි.

බ්‍රිතාන්‍යය රජ පවුලේ ඔටුනු පැළඳවීමේ මංගල්‍යයක් සජිවීව ලොව පුරා විකාශය කෙරෙන දෙවන අවස්ථාව මෙය වනවා. 

මීට පෙර 1953 වසරේදී දෙවන එලිසබෙත් රැජිණගේ රාජාභිෂේකය රූපවාහිනී ඔස්සේ  ලොව පුරා සජීවීව විකාශය කෙරුණා. තවත් හෝරා 04 කින් පමණ පසුව බ්‍රිතාන්‍යයේ නව රජු ලෙස චාල්ස් කුමරු අභිෂේක ලබන අයුරු ලොව පුරා ජනයාට දැකගනු හැකි වනු ඇති.

කෙසේවෙතත්  ඔහු ඉතිහාස ගත වන්නේ බ්‍රිතාන්‍යයේ රාජකීය ඔටුන්න හිස මත තබා ගත් වයස්ගතම පුද්ගලයා ලෙසටයි.