Saturday, November 16, 2024

General line - 0115112241

රට ගොඩ නගන්න ජනපතිට චීන රජයේ පූර්ණ සහාය




ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යනු ලබන ප්‍රයත්නයට චීන රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චීන විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං අවධාරණය කර තිබෙනවා.

දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් චීනය උනන්දුවෙන් පසුවන බවයි ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ චීන උප ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

මෙම තීරණාත්මක කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට චීනය ලබාදුන් සහාය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී චීන උප ඇමතිවරයා වෙත සිය කෘතඥතාවය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතා වර්ධනය කර ගැනීමට චීනයේ කැපවීම අවධාරණය කළ උප අමාත්‍යවරයා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා නව අවස්ථා සොයා බැලීමට චීනය උනන්දුවෙන් පසුවන බව ද කියා සිටියා.

චින විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොංගේ ශ්‍රී ලංකා සංචාරය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡා දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින් සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට ඉවහල් වනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.