Tuesday, May 7, 2024

General line - 0115112241

මහර සිරකරු ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා පෙත්සමක්

උදය කුමාර




මහර බන්ධනාගාරය තුළ පසුගියදා ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් මරණයට පත්වීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම සිද්ධියෙන් මියගිය සම්පත් පුෂ්පකුමාර නමැති රැඳවියකුගේ බිරිඳ විසින් එම පෙත්සම ඉදිරිපත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ මෙම සිරකරුවන්ගේ මරණ පිළිබඳව පූර්ණ විමර්ශනයක් පැවැත්වූ වැලිසර මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉකුත් අප්‍රේල් මස 26 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කළ බවයි.

එම නියෝගය නිකුත් වී මාස එක හමාරකට වැඩි කාලයක් මේ වන විට ගතවී ඇතත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බවත් පෙත්සමින් චෝදනා කර තිබෙනවා.

ඒ අනුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කාරිනිය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.