Monday, May 6, 2024

General line - 0115112241

වැග්නර් හමුදාවේ කුමන්ත්‍රණය අසාර්ථකයි - රුසියානුවන්ගේ සුබපැතුම් මැද යළි යුක්රේනයට




රුසියාවට එරෙහිව එරට වැග්නර් කුලී හමුදාව ආරම්භ කළ කැරැල්ල පසුබැස තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ වැග්නර් නායක යෙව්ගනි ප්‍රිගොෂින් විසින් සිය හමුදාව යළි කැඳවා ඇති බවයි.

ඒ අනුව රොස්ටොව් සිට මොස්කව් බලා ගමන් කරමින් සිටි වැග්නර් හමුදාව රුසියාවට කිලෝමීටර් 200 ක් පමණ ඉතිරිව තිබයදී ආපසු හැරී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එලෙස පැමිණි ඔවුන් යළි යුක්රේනයේ පිහිටි සිය කඳවුරු වෙත ගමන් කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් යළි යුක්රේනය බලා ගිය වැග්නර් හමුදාවට රොස්ටොව් නගරයේ වැසියන්ගෙන් ඉහළ ප්‍රතිචාර හිමිවීම විශේෂත්වයක්.

ඇතැම් විදෙස් මාධ්‍ය පැවසුවේ ඔවුන් රුසියාවෙන් පිටවුණේ රොස්ටොව් වැසියන්ගේ ඔල්වරසන් මධ්‍යයේ බවයි.

මගදෙපස රැස්ව සිටින රොස්ටොව් ජනතාව වැග්නර් හමුදාවට සුබපතන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන් ඇතැමෙකු වැග්නර් නායක යෙව්ගනි ප්‍රිගොෂින් වෙත අතට අත දෙමින් සුබ පතන ආකාරයත්, සෙල්ෆි ඡායාරූප ගන්නා ආකාරයත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් වැග්නර් හමුදාව රුසියාවෙන් පිටව යාමට තීරණය කර තිබුණේ බෙලරූස් රාජ්‍යයේ නායක ඇලෙක්සැන්ඩර් ලුකශෙන්කෝ ගේ මැදිහත්වීම මතයි.

එහෙත් පසුබැස යාම වෙනුවෙන් වැග්නර් ප්‍රධානියා බෙලරූස් ජනාධිපතිවරයා සමග එළඹි එකඟතා මොනවාදැයි අනාවරණ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම් කැරැල්ලට එක්වූ වැග්නර් හමුදාවට එරෙහිව චෝදනා ගොනු නොකරන බව ද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබෙනවා.

කෙසේවෙතත් රුසියානු පාලන තන්ත්‍රයේ කිසිඳු වෙනසක් සිදු නොවන බවයි ක්‍රෙම්ලිනය තහවුරු කර ඇත්තේ.