Saturday, May 11, 2024

General line - 0115112241

සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බගවන්තලාව පොලීසියට ඇමති තොණ්ඩමන්ගෙන් බලපෑම්

රංජිත් රාජපක්ෂ




ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් සහ ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ පොලිස් නිලධාරීන් පිරිසකට බැන තර්ජනය කර ඇතැයි වාර්තා වනවා.

ඒ, සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් පාදක කර ගනිමින්.

බගවන්තලාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙකු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එලෙස රක්ෂිත බන්නධනාගාර ගත කර ඇත්තේ බගවන්තලාව කර්කස්ෆෝල් වතුයායේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්. 

සැකකරු බගවන්තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් වෙත පැමිණ සිය මිතුරකුගේ බැංකු ගිණුමේ ශේෂය පිළිබඳ මුදල් කවුලුවෙන් විමසා තිබෙනවා.

එහිදී බැංකු නිලධාරීන් පවසා ඇත්තේ ගණුදෙණුකරුවෙකුගේ බැංකු ගිණුම් තොරතුරු වෙනත් පාර්ශවයකට ලබා දිය නොහැකි බවයි.

එහිදී සැකකරු සහ බැංකුවේ සේවකයින් මෙන්ම එහි කළමණාකරු අතර බහින් බස් වීමක් සිදුව ඇති අතර බැංකු කළමණාකරු විසින් ඒ සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඉන් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඉන් පසුව අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් බගවන්තලාව  පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ සැකකරුව අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනා කැඳවා බැන තර්ජනය කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

සැකකරුව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දෙන ලෙසත් ඉන් එක් නිලධාරියෙකු කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මූලස්ථානයේ රාජකාරී සඳහා අනුයුක්ත කරන ලෙසත් අමාත්‍ය ජීවන් තොණ්ඩමණ් බගවන්තලාව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙත පවසා ඇති බව ද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. 

ඉන් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් අතර සිටි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පොලිස් නිලධාරියෙකුගෙන් අමාත්‍යවරයා ඔහු පදිංචි ප්‍රදේශය පිළිබඳ විමසා තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා විසින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්ට එම ස්ථානයේදීම දුරකථන ඇමතුමක් ලබා දී අදාළ පොලිස් නිලධාරියා පිළිබඳ සියලු තොරතුරු පවසා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

අනතුරුව අදාළ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් බලාගන්නා ලෙසද අමාත්‍ය ජීවන් තොණ්ඩමණ් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් වෙත පවසා ඇති බවද වාර්තා වනවා.

එමෙන්ම, පොලිස් ස්ථානය වෙත ප්‍රවේශමෙන් ගමන් කරන ලෙසත් එලෙස ගමන් ගන්නා අතරමග කිසියම් පිරිසක් විසින් පහර දීමට ඉඩ ඇති බවද අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් පොලිස් නිලධාරීන්ට පවසා ඇතැයි එම ස්ථානයේ රැඳී සිටි ජනතාව පවසනවා.

එමෙන්ම බගවන්තලාව පොලිස් ස්ථානය වෙත ප්‍රාදේශීය සභාව විසින් ලබා දී ඇති ජල සැපයුමද විසන්ධි කරන බවයි අමාත්‍යවරයා එහිදී පොලිස් නිලධාරීන්ට තර්ජනාත්මකව පවසා ඇත්තේ. 

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් තමන්ට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන් තිදෙනා සටහන් පොත්වල සටහනක් ද තබා ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. 

මේ අතර අමාත්‍ය ජීවන් තොණ්ඩමන්ගේ දුරකථන ඇමතුමකට අනුව බගවන්තලාව නගරය වෙත පැමිණි හැටන් පොලිස් අධිකාරී එච් එම් එන් දෙහිගමට අමාත්‍යවරයා පවසා ඇත්තේ සැකකරුව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට පියවර ගන්නා ලෙසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන දර්ශන පදනම් කර ගනිමින් මේවනවිටත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එම විමර්ශන අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් අධිකාරීවරයා එහිදී අමාත්‍ය ජීවන් තොණ්ඩමන් වෙත පවසා තිබෙනවා. 

එම විමර්ශන අවසන් වන තෙක් අදාළ පොලිස් නිලධාරීන් තිදෙනා ස්ථාන මාරු කිරීමට නොහැකි බවද පොලිස් අධිකාරිවරයා අමාත්‍යවරයාට පවසා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.