Friday, May 10, 2024

General line - 0115112241

බන්ධනාගාර නිලධාරියෙකුගේ වෙස් ගෙන වැලිකඩ සිරකරුවෙකු පලා යාම ගැන බුද්ධි අංශයෙන් පරීක්ෂණ




බන්ධනාගාර නිලධාරීයෙකුගේ නිල ඇඳුමකින් සැරසී වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවෙකු පලා යාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියගේ උපදෙස් මත එම පරීක්ෂණ ක්‍රියාත්මක බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

එක් පරීක්ෂණයක් සිදුකරනු ලබන්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරිවරයා විසින්. අනෙක් පරීක්ෂණය බන්ධනාගාර බුද්ධි අංශය විසින් ආරම්භ කර තිබෙනවා. 

වැලිකඩ බන්ධනාගාරයේ සිර මැදිරියක රඳවා සිටි මරණ දඬුවම නියමව සිටි සිරකරුවෙකු ආගමික කටයුත්තක් සඳහා සිර මැදිරියෙන් පිටතට ගත් අවස්ථාවේ ඔහු එලෙස බන්ධනාගාරයෙන් පලාගොස් ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.

කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරීයෙකුට අයත් නිල ඇඳුමකින් සැරසී ඔහු වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවෙන් පිටතට පැමිණ තිබුණේ රාජකාරියේ  නිරත නිලධාරීන් කිහිප දෙනෙකුට ද ආචාර කරමින්.

එම නිලධාරීන් නිල ඇඳුමින් සැරසී සිටි සිරකරුට ආචාර කර ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවෙන් පිටතට පැමිණි සිරකරු ප්‍රධාන පිවිසුමේ සිටි බන්ධනාගාර නිලධාරීන් සමඟ ද බහින්බස් වී තිබෙනවා.

අනතුරුව ඔහු ත්‍රී රෝද රථයකින් පලාගොස් තිබුනා.  සිරකරු පිළිබඳ සැක සිතු එම බන්ධනාගාර නිලධාරීන් උසස් නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. 

ඒ ඔස්සේ වහාම ක්‍රියාත්මක වු බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායම් දෙකක් කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන ඇතුළු පොදු ස්ථාන කිහිපයකට පිටත්ව ගියේ සිරකරු අත්අඩංගුවට ගැනීමටයි.

නිල ඇඳුමින් සැරසී සිටි සිරකරු කොටුව දුම්රිය ස්ථානයෙන් රඹුක්කන බලා ධාවනය වන දුම්රියක අසුන් ගෙන සිටින ආකාරය එම දුම්රිය ස්ථානයට පැමිණි බන්ධනාගාර නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබෙනවා.

වහා ක්‍රියාත්මක වූ එම නිලධාරීන් ඒ පිළිබඳ මරදාන දුම්රිය ස්ථානයේ සිටි බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.

ඒ අනුව එම දුම්රිය මරදාන දුම්රිය ස්ථානයට ළඟා වූ අවස්ථාවේ සිරකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔහු එම අවස්ථාවේදී ද නිලධාරීන්ගෙන් මිදී වෙනත් දුම්රියකින් පලා යාමට උත්සාහ කර ඇති බවයි බන්ධනාගාර ආරංචිය පැවසුවේ.  

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සිරකරු යළි වැලිකඩ බන්ධනාගාර වෙත ගෙන විත් තිබෙනවා.

එම සිරකරු බුස්ස බන්ධනාගාරය වෙත මාරු කිරීමට නියමිතයි.

මෙලෙස පලා යාමට උත්සාහ කළේ මිනී මැරුම් චෝදනාවකට අදාළව 2015 වසරේ මාර්තු 6 වනදා ගම්පහ මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කළ පන්නල, කොටු වැල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක් බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.