Saturday, July 27, 2024

General line - 0115112241

පොලිස් වෙඩි පහරකින් ප්‍රංශය නොසන්සුන්




පොලිස් වෙඩිපහරකින් තරුණයෙකු මියයාම හමුවේ ප්‍රංශයේ පැරිස් අගනුවර නොසන්සුන්තාවක් හට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.

ප්‍රහාරයෙන් මෝටර් රථයේ රියදුරු අසුනේ සිටි 17 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ පොලිස් නිලධාරියා එල්ල කළ වෙඩි ප්‍රහාරය තරුණයාගේ ළය ප්‍රදේශයට එල්ල වී තිබෙනවා.

ඉන් බරපතල තුවාල ලැබූ තරුණයා එම ස්ථානයේම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෝටර් රථයේ සිටි රියදුරුට පොලිස් නිලධාරියෙකු ගිනි අවිය දිගු කරන ආකාරය සහ අනතුරුව ඔහුට වෙඩි තබන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමත් සමඟ පොලීසියට එරෙහිව පැරිස් අගනුවර විරෝධතා ක්‍රියාත්මක බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඔහුට එරෙහිව මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි සඳහන්.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී මෝටර් රථය තුළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සිට තිබෙනවා.

වෙඩි තැබීමේදී එම එක් පුද්ගලයෙකු පලා ගොස් ඇති අතර අනෙක් පුද්ගලයාට සුළු තුවාල සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.