Monday, May 6, 2024

General line - 0115112241

වැග්නර් එපා - ආරක්ෂාව දිය හැකි බව රුසියානු ආරක්ෂක අංශ පුටින්ට කියයි




ඉකුත් දා ඇතිවූ කැරැල්ලෙන් පසු රුසියානු ආරක්ෂක අංශ තුළ වැග්නර් කුලී හමුදාවට ඇති විරෝධය ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.    

ඒ අනුව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් එරට රජයට දන්වා ඇත්තේ අමතර භට පිරිස් අවශ්‍ය වුවත් එම අවශ්‍යතාවය සඳහා කුලී හමුදා කණ්ඩායම් අවශ්‍ය නොවන බවයි.

රුසියාවට මිලියන 07 ක පමණ වෘත්තිය හමුදා කණ්ඩායමක අවශ්‍යතාව පවතින නමුත් රටට කිසිඳු පෞද්ගලික හමුදා සමාගමක අවශ්‍යතාවක් නොමැති බවයි එම නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේවෙතත් ඉකුත්දා ආරම්භ කල කැරැල්ලෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා වැග්නර් කුලී හමුදාවට යලිත් වරක් රුසියානු හමුදාව සමග එක්වීමට අවස්ථාවක් ලබා දුන්නා.

කැරැල්ල මෙහෙයවූ වැග්නර් හමුදාවේ නායක යෙව්ගනි ප්‍රිගොෂින් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයෙකු ලෙස ප්‍රකට අතර ඔහුට විරුද්ධව ක්‍රියාකිරීමට කැරැල්ලෙන් පසුව වුවත් පුටින් කටයුතු කළේ නැහැ. එහෙත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සහ වැග්නර් කුලී හමුදාව අතර මතභේදාත්මක තත්ත්වයක් පවතිනවා.

ඉකුත්දා වැග්නර් හමුදාව ක්‍රියාත්මක කළ අසාර්ථක කැරැල්ලට ද හේතුවූයේ එම මතභේදාත්මක තත්ත්වය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර කැරැල්ලෙන් පසුව රුසියාවෙන් පිටව ගිය වැග්නර් නායක යෙව්ගනි ප්‍රිගොෂින් බෙලරූස් රාජ්‍යය වෙත පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.