Thursday, May 2, 2024

General line - 0115112241

ඊශ්‍රායලය මතභේදාත්මක අධිකරණ ප්‍රතිසංස්කරණ කෙටුම්පත සම්මත කර ගනියි




අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ ඊශ්‍රායල රජය විසින් ඉදිරිපත් කළ මතභේදාත්මක අධිකරණ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත සම්මත වුණා. 

ඒ, එම පනත් කෙටුම්පත ඊයේ ඊශ්‍රායල පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදීයි.

එම ප්‍රතිසංස්කරණවලට එරෙහිව රට තුළ ප්‍රබල විරෝධතා මාලාවක් ක්‍රියාත්මක වුවත්, ඊශ්‍රායල විපක්ෂ කණ්ඩායම් පාර්ලිමේන්තුවේදී එය පරාජයට පත්කිරීමට අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙද්දීත් ඊශ්‍රායලයේ ටෙල්අවීව් අගනුවර සහ තවත් ප්‍රධාන නගර කිහිපයක ඊට විරෝධය පා දැවැන්ත විරෝධතා පාගමන් සහ පැවැත්වුණා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඊශ්‍රායල වැසියන් දහස් ගණනක් එම විරෝධතා සඳහා එක්ව සිටි බවයි. මාර්ග පුරා ඊශ්‍රායලයේ ජාතික ධජය ලෙලදෙන අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේවෙතත් ජල ප්‍රහාර එල්ල කර අගනුවර විරෝධතාකරුවන් විසුරුවා හැරීමටයි ඊශ්‍රායල පොලීසිය කටයුතු කර තිබුණේ. 

මේ අතර ඉකුත්දා හසිදියේ හෘද සැත්කමකට ලක් කෙරුණු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණ සිටීම විශේෂත්වයක්.

කෙසේවෙතත් පාර්ලිමේන්තුව මගින් සම්මත කෙරුණු අධිකරණ ප්‍රතිසංස්කරණ හරහා ඊශ්‍රායලයේ අධිකරණය වෙත බලපෑම් එල්ල වනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

එමගින් ශ්‍රේෂ්ඨාධිකරණය රජයේ තීන්දු ප්‍රතික්ෂේප කිරීම වළක්වනු ඇති බව ද ඔවුන් පෙන්වා දෙනවා.