Monday, April 29, 2024

General line - 0115112241

හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ සිටි විදේශිකයින් 40ක් මිය යයි. - අමෙරිකානුවන් රැසක් ප්‍රාණ ඇපයේ




ගාසාහි ක්‍රියාත්මක හමාස් සංවිධානයේ සටන්කාමීන් විසින් ඊශ්‍රායලයට ඇතුළු වී එල්ල කළ ප්‍රහාරය හමුවේ විදේශිකයින් 40 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති අතර විදේශිකයින් රැසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස හමාස් සටන් කාමීන් විසින් ගාසා තීරයට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේදී පැහැර ගෙන ප්‍රාණ ඇපයෙහි රඳවාගෙන සිටින පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද යන්න මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.

කෙසේවෙතත් පූර්ණ අනතුරු ඇගවිම්වලින් තොරව ඊශ්‍රායලය එල්ල කරන සෑම ගුවන් ප්‍රහාරයක් සඳහාම ප්‍රතිචාර වශයෙන් සිය භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන්ගෙන් අයෙකු ඝාතනය කරන බව හමාස් සංවිධානය තර්ජන කර තිබෙනවා.

දැනට පළ වන වාර්තා අනුව හමාස් සංවිධානයේ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත් වූ විදේශිකයින් අතර තායිලන්ත ජාතිකයින් 12 දෙනෙකු, නේපාල ජාතිකයින් 10 දෙනෙකු, අමෙරිකානුවන් 09 දෙනෙකු , යුක්‍රේන වැසියන් 02නෙකු, ප්‍රංශ වැසියන් 02දෙනකු, රුසියානු ජාතිකයෙකු, බි්‍රතාන්‍ය ජාතිකයෙකු, කැනේඩියානුවෙකු, කාම්බෝජියා වැසියෙකු, බ්‍රසිල ජාතිකයින් තිදෙනෙකු  ඉතාලි ජාතිකයින් දෙදෙනෙකු, මෙක්සිකෝ වැසියන් දෙදෙනෙකු සහ එක් අයර්ලන්ත ජාතිකයෙකු වනවා. 

එමෙන්ම ජර්මානු වැසියන් රැසක්, බ්‍රසීල ජාතිකයින් තිදෙනෙක්, කැනේඩියානුවන් දෙදෙනෙකු , රුසියානුවන් සිව් දෙනෙකු , ප්‍රංශ ජාතිකයින් 14 දෙනෙකු සහ තායිලන්ත වැසියන් 11 දෙනෙකු අතුරුදන්ව සිටින අතර ඔවුන් හමාස් සටන්කාමීන්ගේ  ප්‍රාණ ඇපයෙහි රඳවා සිටින බවටයි විශ්වාස කෙරෙන්නේ.

මේ අතර ඊශ්‍රායලයේ සිටි අමෙරිකානු ජාතිකයන් 150 දෙනෙකු පමණද හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගොස් ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා.

මේ අතර, හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ මේවනවිට ඊශ්‍රායලයේ පුද්ගලයින් 900 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා වැසියන් 690 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.