ප්‍රතිවාදී කල්ලි, ඔවුන්ගේ හිතවතුන් සහ ඥාතීන්, දේශපාලනඥයින් සහ අපරාධ මැඩීමට කාර්යක්ෂමව ක්‍රියා කරන නිළධාරීන් නිහඬ කිරීම සඳහා තර්ජන හා ඝාතන සිදුකළ සංවිධානාත්මක අපරාධ කල්ලි දැන් මාධ්‍ය නිහඬ කිරීමේ උත්හසායක යෙදී සිටිනවා.
ඒ, සංවිධානාත්මක අපරාධකරුවන්ගේ නිරුවත හා ඔවුන්ගේ ඉදිරි ඝාතන සැලසුම් හෙලි කරමින් නිර්භය මාධ්‍ය මෙහෙවරක යෙදී සිටින මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින්.
නෙත් එෆ් එම් බැලුම්ගල මාධ්‍යවේදීන් වන චාමික බණ්ඩාර හා සුරේෂ් විජය රංගන එලෙස තර්ජනයට ලක්ව සිටිනවා.
සංවිධානාත්මක අපරාධ කල්ලි හා ඒවායේ ප්‍රධානීන් පිළිබඳ කරන ගවේෂණ හා අනාවරණ නතර කරන ලෙස බලපෑම් කරමිනුයි මෙම තර්ජනයන් සිදුවන්නේ.
දුරකථන ඇමතුම් හා සමාජ මාධ්‍ය පණිවිඩ මඟින් මෙම තර්ජනය කිරීම් සිදුවනවා. ඒ පිළිබඳ පොලිස්පතිවරයා ද ලිඛිතව දැනුවත් කර තිබෙනවා.
නෙත් එෆ් එම් බැලුම්ගල ප්රමුඛ පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි හා ඒවායේ ප්‍රධානීන් පිළිබඳ ඉකුත් සමයේ අනාවරණ ගණනාවක් සිදු කලා.
රටපුරා තැන තැන සිදුවූ වෙඩි තැබීම් හා කපා කොටා කෙරුණු මනුෂ්‍ය ඝාතන බොහොමයක් මෙම අපරාධ කල්ලි අතර ගැටුම්වල ප්‍රතිපල බවයි එහිදී අනාවරණය කෙරුණේ.
ගම්පහ, රත්මාලන, අවිස්සාවේල්ල සහ දකුණේ කල්ලි ගැටුම් පිළිබඳ විශේෂයෙන් එහිදී සාක්ෂි ඉදිරිපත් කෙරුණා.
කොන්ත්‍රාත් ක්‍රමයට මිනීමරුම් සිදුවන ආකාරය ද වෙනත් රටවල අපරාධ කණ්ඩායම් හා ත්‍රස්ත සංවිධාන සමග සම්බන්ධව ශ්‍රී ලංකාවට මත්කුඩු රැගෙන එන හා රටපුරා මත්කුඩු බෙදාහරින ආකාරයද සාක්ෂි ඉදිරිපත් කරමින් එහිදී අනාවරණය කෙරුණා.
සංවිධානාත්මක අපරාධකරුවන් බොහෝ පිරිසක් විදෙස් රටවල සැගව සිටින ආකාරයත්, ඔවුන් ශ්‍රී ලංකාවේ සිදුකරන අපරාධ සඳහා සහයකයින් යොදා ගන්නා ආකාරයත් නෙත් එෆ් එම් බැලුම්ගල අනාවරණ කලා.
වෙඩි තැබීම් සඳහා හමුදාවන්ගෙන් පලා ආ පිරිස්, විශ්‍රාමික හමුදා සාමාජිකයින් මෙන්ම දැනටත් සක්‍රිය සේවයේ සිටින හමුදා සාමාජිකයින් ද ඇතැම් විට හමුදා ආයුධ ද යොදා ගැනෙන බවයි වැඩිදුරටත් අනාවරණ කෙරුණේ.
සංවිධානාත්මක අපරාධකරුවන්, ඇතැම් පොලිස් නිළධාරීන්ගේ සහ දේශපාලනඥයින්ගේ සහය ලබා ගන්නා ආකාරයද නෙත් එෆ් එම් බැලුම්ගල සාක්ෂි ඉදිරිපත් කරමින් අනාවරණය කලා.
බැලුම්ගල මාධ්‍යවේදීන් වන චාමික බණ්ඩාර හා සුරේෂ් විජය රංගන තර්ජනයට ලක්වන්නේ එවැනි පසුබමකයි.