පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කලින් ප්‍රශ්න තුනක් පිට වූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් පවත්වන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අද විභාගයට ගත්තා.
එම විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනුකර තිබුණා.
යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගයට ගනු ලැබුවා.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ අදාළ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කිරීම සඳහා පදනම් වී ඇති විද්වත් කමිටු වාර්තාව සකස් කර ඇත්තේ ඊට සම්බන්ධ සමස්ත ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කිරීමකින් තොරව බවයි.
ශිෂ්‍යත්ව විභාගය අතිශය තීරණාත්මක විභාගයක් බවත් එම විභාගයේදී ලබාදෙන සෑම ලකුණක්ම ඉතා වැදගත් බවත් ඔහු පෙන්වා දුන්නා.ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන සිසුන්ට ජනප්‍රිය පාසල් වලට ඇතුළත් වීමට තිබෙන එකම මාර්ගය මෙය පමණක් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
එබැවින් මෙම විභාගයේදී යම් අසාධාරණයක් සිදුවුවොත් ඒ තුළින් මුළු මහත් ශිෂ්‍ය ප්‍රජාවටම අහිතකර බලපෑමක් එල්ල වන බවත් ඔහු කියා සිටියා.
මීට පෙර උසස් පෙළ විභාගයේ කෘෂිකර්ම ප්‍රශ්න පත්‍රය කලින් පිටවූ බව හෙළි වීමත් සමඟ එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර නව ප්‍රශ්න පත්‍රයක් ලබාදීමට බලධාරීන් තීරණය කළා.
ඒ අනුව, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ ප්‍රශ්න පත්‍රය සඳහා ද අලුතින් ප්‍රශ්න පත්‍රයක් ලබා දී විභාගය යළි පැවැත්විය යුතු බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළා.
අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්තියක පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ ඇතුලත් ප්‍රශ්න හා සමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍රයක් ලබා දී ඇති බව අනාවරණය වී ඇති බවත් ඊට අදාළව සිදු කළ විමර්ශනවලදී මෙම ප්‍රශ්න පත්‍රය සැකසීමේ කටයුතුවල යෙදී සිටි කමිටුවේ අයෙකු විසින් අදාළ ප්‍රශ්න පිට කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී කියා සිටියා.
මීට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන පරීක්ෂණ මෙතෙක් අවසන් වී නොමැති බවද ඔහු සඳහන් කළා.
මෙම පෙත්සම් ගොනු කිරීමෙන් පසුව අධ්‍යාපන ඇමතිවරිය විසින් විශේෂඥ කමිටුවකින් කරුණු විමසා තිබෙන අතර එම කමිටු සාමාජිකයන් විසින් වෙන වෙනම වාර්තා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කර තිබෙනවා.
එහිදී ප්‍රශ්න තුනක් පිටවීම පිළිබඳව හැර ඒ සම්බන්ධ අනෙකුත් කරුණු පිළිබඳව අවධානය යොමු කර නොමැති බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිස්ටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කළේ අධිකරණය මගින් කළ දැනුම් දීමකට අනුව අදාළ විද්වත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීමට කටයුතු කළ බවයි.
එම නිර්දේශයන්ට අනුව පිටවූ බව කියන ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා. ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය හෙට දින තෙක් කල් තැබුණා.