‘විසල් මහනුවර සංවර්ධන සැලැස්මේ’ අවසන් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද සිදු කෙරුණා.
එහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ අදාළ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම පිළිබඳ ජයිකා ආයතනය සමඟ සාකච්ඡා කරන බවයි.
ඓතිහාසික මහනුවර නගරය මනා සැලසුම් සහගත, සංවිධානාත්මක සහ පූර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීමට 2023 පෙබරවාරි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි වුණා.
මෙම නගර සංවර්ධන සැලැස්ම සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අදාල සියලු ආයතන නියෝජනය වන පරිදි නිලධාරීන් සහ නගර සැලසුම් ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් ද පත් කර තිබෙනවා.
ඒ අනුව කටුගස්තොට, මහනුවර සහ කුණ්ඩසාලේ යන ප්‍රදේශවල යටිතල පහසුකම්, පහසුකම් සහ සේවා වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙම සංවර්ධන සැලැස්ම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරු වෙත ඉදිරිපත් කර තවදුරටත් අදහස් හා යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කළ අවසන් කෙටුම්පත අද මෙලෙස ජනාධිපතිවරයා වෙත භාරදීම සිදු කෙරුණා.
මහනුවර පුරවරයේ ඓතිහාසිකත්වය සහ සංස්කෘතික උරුමය සුරකිමින් මෙන්ම ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කෙරහි අවධානය යොමු කරමින් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නා.
එසේම ඉදිරියේදී මෙරට ස්ථාපිත කිරීමට නියමිත විශ්වවිද්‍යාල අතරින් කිහිපයක් ද මහනුවර පුරවරයට ලබාදීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.
මහනුවර නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවෙන් අනතුරුව අකුරණ නගර සංවර්ධනට අදාළ සාකච්ඡාවක් ද පැවැත්වුණු අතර අකුරණ නගර සංවර්ධනයට අදාළ සම්පුර්ණ වාර්තාවක් සති 06ක් තුළ ලබා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.