Monday, April 29, 2024

General line - 0115112241

ජය පෙනි පෙනී ලැබූ පරාජය ගැන වනිඳු කතා කරයි




සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ පැවති දෙවන පන්දු වාර 20යි 20 තරඟය පරාජයට පත් වීමට ක්‍රීඩා පිටියේ පැවති පින්න හේතුවක් වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු හසරංග පවසනවා.

එම තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.


ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ලද පරාජයත් සමග දෙරට අතර පැවැත්වෙන පන්දුවාර 20 - 20 ක්‍රිකට් තරඟාවලිය 1- 1ක් ලෙස සම වුණා.  

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 දී කඩුලු 06කට ලකුණු 173ක් රැස් කළා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 39කදී ලකුණු 69ක් රැස් කළ අතර ඇන්ජලෝ මැතිව්ස් පන්දු 51කදී නොදැවී ලකුණු 66ක් රැස් කළා. 

කෙසේ වෙතත් ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ පිල අවසන් මොහොතේ තරඟය ජය ගත්තේ තරඟයේ තීරණය උඩුයටිකුරු කරමින්.

අවසන් පන්දු 04ට ලකුණු 03ක් පමණක් ඉතිරිව තිබියදී ලබා දුන් පහසු උඩපන්දුව ගිලිහී යාමත් සමග සිම්බාබ්වේ පිලට තරගයේ ජය පහසු වුණා.

සිම්බාබ්වේ පිල තරඟය ජය ගත්තේ කඩුලු 04කින්.

මැතිව්ස් යැවූ අවසන් පන්දුවාරයේ පන්දු 05ට සිම්බාබ්වේ පිතිකරුවන් ලකුණු 24ක් රැස් කර ගත්තා.