Monday, April 29, 2024

General line - 0115112241

පකිස්තාන මහ මැතිවරණයේ පමා වූ ප්‍රතිපල නිකුත් වේ - ඉම්රාන් ඛාන්ගේ පක්ෂ සාමාජිකයින් පෙරමුණට




පකිස්තාන මැතිවරණ කොමිසම විසින් එරට මහ මැතිවරණයේ අවසන් ප්‍රතිපල නිකුත් කර තිබෙනවා.

එම ප්‍රතිපල අනුව පෙරමුණේ සිටින්නේ පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පී ටී අයි පක්ෂයේ අපේක්ෂකයින් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ අපේක්ෂකයින් ස්වාධීන කණ්ඩායමක් ලෙස මෙවර මහ මැතිවරණය සඳහා තරග කළා. 

විදෙස් මාධ්‍ය පවසන පරිදි මෙවර පකිස්තාන මහ මැතිවරණය සඳහා තරග කළ ස්වාධීන අපේක්ෂකයින් විසින් පකිස්තාන ජාතික සභාවේ ආසන 101 ක් හිමිකර ගෙන සිටිනවා.

ඒ අතරින් ආසන 93 ක්ම හිමිකර ගෙන ඇත්තේ ස්වාධීන අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වූ ඉම්රාන් ඛාන්ගේ පී ටී අයි පක්ෂයේ අපේක්ෂකයින් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

මැතිවරණ ප්‍රතිපල අනුව ඉන් අනතුරුව පෙරමුණේ සිටින්නේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ්ගේ මුස්ලිම් ලීගයයි. එම පක්ෂය හිමිකර ගෙන ඇති ආසන සංඛ්‍යාව 75 ක්. 

රජයක් පිහිටුවීමට නම් දේශපාලන පක්ෂයක් විසින් පකිස්තාන ජාතික සභාවේ ආසන 266 න් ආසන 169 ක් හිමිකර ගනිමින් බහුතර බලය හිමිකර ගත යුතු බවයි පැවසෙන්නේ.

එහෙත් කිසිඳු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් එම ආසන සංඛ්‍යාව හිමිකර ගෙන නොමැති බැවින් පකිස්තානයේ මීලග රජය පිහිටුවන්නේ කවුරුන්ද යන්න මෙතෙක් පැහැදිළි නැහැ.