Monday, April 29, 2024

General line - 0115112241

ආනන්ද නාලන්ද ක්‍රිකට් ගැටුම ජය පැරදුමෙන් තොරව අවසන් - තරගය නැරඹීමට ජනපතිත් එයි




දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ පිරිමි පාසල් ද්විත්වයක් වන කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර 94 වැනි වරට පැවති “සුලෝහිත සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරඟය අද ජය පැරදුමෙන් තොරව අවසන් වුණා.  

තරගය පැවැත්වුණේ කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදීයි. දිවංගත ආචාර්ය එන්. එම්. පෙරේරා අනුස්මරණ අභියෝග ශූරතා කුසලාන වෙනුවෙන් “සුලෝහිත සංග්‍රාමය” මහා ක්‍රිකට් තරඟය මෙවර ද පැවැත්වුණා. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නාලන්දා විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 08ක් දැවී ලකුණු 277ක් රැස් කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටවූවා.

එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සජිත් විතානගේ නොදැවී ලකුණු 100ක් රැස් කලා.

පසුව සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් ආනන්ද විද්‍යාලය කඩුළු 09කට ලකුණු 286ක් රැස් කරගෙන සිටියදි සිය ඉනිම අත්හිටවුවා.

කිත්ම විතානපතිරණ ලකුණු 76ක් රැස් කලා. පසුව සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් නාලන්ද කණ්ඩායම දිනය නිමාවන විට කඩුලු 04ක් දැවී ලකුණු 120ක් රැස් කරගෙන සිටියා.

ඒ අනුව තරගය නිමාවුණේ ජය පැරදුමෙන් තොරවයි.

ආනන්ද විද්‍යාලය සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහ ක්‍රිකට් තරග ඉතිහාසයේ ජයග්‍රහණ 12 ක් ලබාගනිමින් පෙරමුණේ පසුවනවා.

නාලන්දා විද්‍යාලය තරග 7 ක් ජයග්‍රහණය කර තිබෙනවා.  

අද තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වීමත් සමග 2022 වර්ෂයේ පැවති 92 වැනි සුලෝහිත සංග්‍රාමය ජයගත් නාලන්ද විද්‍යාලය සතුව තවත් වසරක කාලයකට කුසලානය පවතිනු ඇත.

ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමය නැරඹීම සඳහා පැමිණ සිටි ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ තරගය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. 


මේ අතර ආනන්ද  සහ නාලන්දා විද්‍යාල අතර කොළඹ එස් එස් සී පිටියේ දී පැවැත්වෙන 94 වැනි “සුලෝහිත සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරඟය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අද පස්වරුවේ සහභාගී වුණා.

සිසුන් දිරිමත් කරමින් තරගය නැරඹීමට එක් වූ ජනාධිපතිවරයාතරගය නැරඹීමට පැමිණ සිටි පිරිස සමඟ ද සුහද කථා බහක නිරත වුණා.

ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක සහ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ඉරාන් චමිපික ද සිල්වා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගන්වනු ලැබුවා.

හිටපු කථානායක කරු ජයසූරිය මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.