Monday, April 29, 2024

General line - 0115112241

තියුණු තරඟයකින් පසු බංග්ලාදේශයට එරෙහි පළමු විස්සයි විස්ස තරඟයේ ජය ශ්‍රී ලංකාවට




ක්‍රිකට් පිටියේ උණුසුම් ප්‍රතිමල්ලවයන් වන ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තවත් උණුසුම් තරඟයක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

දෙරට අතර තරඟ තුනකින් යුත් පන්දුවාර 20 තරඟාවලියේ පළමු තරඟය වූ එය උණුසුම් අවසානයකින් පසු ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 03කින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 206ක් රැස් කලා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල සධීර සමරවික්‍රම ලකුණු 61යි.

කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස්කලා.

වේගවත් ඉනිමක් දියත් කල නායක චරිත් අසලංක පන්දු 21කදී හයේ පහර 06ක් සමග නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 44ක්.
ලකුණු 207ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු 04 ලකුණු 68ක් තුල බිඳ දමමින් ශ්‍රී ලංකාව තරඟයේ පාලනය සියතට ගත්තා.

එහෙත් තරඟය බංග්ලාදේශය දෙසට යලි නතුකර ගත්තේ පිටියේ එක්වූ මහමුදුල්ලා පන්දු 31කදී ලකුණු 54ක් රැස් කිරීමත් සමගයි.

ඔහුට අනගි සහයක් ලබා දුන් ජකීර් අලී පන්දු 34කදි හයේ පහර 06ක් සමග ලකුණු 68ක් රැස් කලා.

ඔහු ලබාදුන් උඩ පන්දුවක් ගිලිහී යාමේ වාසිය ලබා ගත් ජකීර් අවසන් පන්දුවාරය තෙක්ම තරගයේ උණුසුම වැඩි කලේ සුපිරි පිතිහරඹයක නිරත වෙමින්.

බංග්ලාදේශ ඉනිමේ මැද භාගයේ සිට ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර දසුන් ශානකගේ පන්දුවාර දෙකේදී ලකුණු 29ක් හා මතීෂ පතිරණගේ පන්දුවාර 04දී ලකුණු 56ක්ද රැස් කර ගැනීමට බංග්ලාදේශ පිතිකරුවන් සමත්වුණේ තරගයේ ප්‍රථිපලය වෙනස් කරමින්. 

බංග්ලාදේශ කණ්ඩායමට අවසන් පන්දු 36දී තරගය ජය ගැනිමට ලකුණු 83ක් අවශ්‍යව තිබූ අතර පසුව පන්දු 24දී පමණක් ලකුණු 56ක් රැස් කරමින් ඔවුන් තරගයේ ජය පෙනෙන මානයට පැමිණියා.

අවසන් පන්දුවාරයේදී තරඟයේ ජයග්‍රහණය සදහා බංග්ලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 12ක්.

එහි වගකීම පැවරුණේ දසුන් ශානකටයි.

ඔහු පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගත් අතර තීරණාත්මක තුන්වන පන්දුවේදී එතෙක් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල ජකීර් අලී දවා ගත්තේ චරිත් අසලංකගේ විශිෂ්ට පන්දු රැකිම හමුවේයි.

සිව්වන පන්දුවේදී යලි හතරේ පහරක් එල්ල කිරීමත් සමග තරගය යලි උණුසුම් වූ අතර අවසන් පන්දු දෙක ලකුණු 02කට සීමා කල දසුන් උණුසුම් මුහුණුවරක් ගත් තරගයෙන් ශ්‍රී ලංකාවට අවසන් මොහොතේ සුපිරි ජයක් ගෙන දුන්නා.

ඒ ඔහු යැවූ තුන්වන පන්දුවාරය ලකුණු 08කට සීමා කර කඩුලු 02ක් දවා ගනිමින්.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් මෙම තරගයේදි අතිරේක ලකුණු 18ක් ලබා දුන් අතර ඉන් වයිඩ් පන්දු 09ක් හා නිපන්දු 03ක්ම යොමු කලේ මතීෂ පතිරණයි.

පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක හා බිනුර ප්‍රනාන්දු කඩුලු 02 බැගින් දවා ගත්තා.

අවසානයේ තරගය නිම වූයේ පන්දුවාර 40ක් තුල හයේ පහර 23ක් සමග කණ්ඩායම් දෙකම ලකුණු 409ක් රැස් කර ගනිමින් වීම විශේෂත්වයක්.