Saturday, May 4, 2024

General line - 0115112241

බංග්ලාදේශයට එරෙහි දෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්




බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, තරගය කඩුලු 03කින් ජය ගනිමින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 286ක් රැස් කලා.

විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ටොව්හිඩ් හද්‍රෝයි නොදැවි ලකුණු 96ක් රැස් කිරීමට සමත් වුණා.

සෞම්‍ය සර්කාර් ලකුණු 68යි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග ලකුණු 45කට කඩුලු 04ක් බිද හෙලුවා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාව 47යි එක් පන්දුවක් තුල කඩුළු 07ක් දැවී ලකුණු 287ක් රැස් කරමින් තරගය ජය ගත්තා.

ජයග්‍රහණයේ නියමුවා වෙමින් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක ලකුණු 114ක් රැස් කලේ 06 පහර 03ක් ද සමගයි.

පැතුම් නිස්සංක මේ වසරේ සහභාගී වූ එක්දින තරග 05න් තුනකදීම ශතක රැස්කර ගැනීම විශේෂත්වයක්. 

ඔහුට අනගි සහයක් ලබා දුන් චරිත් අසලංක ලකුණු 91ක් රැස් කලා.

ශ්‍රී ලංකා පිලේ කඩුලු 03ක් ලකුණු 43ක් තුල බිදවැටි තිබූ අවස්ථාවේ පිටියේ එක්වූ පැතුම් හා චරිත් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 185 ක සබදතාවක් ගොඩනැගුවා.

එය ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු එක්දින තරගයක සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

ඔවුන් මෙලෙස බිද දැමුවේ අර්ජුන රණතුංග හා රොෂාන් මහානාම ලකුණු 171 රැස්කරමින් බිහිකර තිබූ වාර්තාවයි. 

ඔවුන් දෙදෙනාගේ කඩුලු දෙක බිද වැටීමත් සමග යළි බංග්ලාදේශය තරගයට අවතීර්ණ වුණේ ජනිත් ලියනගේද දවාගනිමින්.

තරගයේ තීරණය දෙපිලටම දෝලනය වෙමින් තිබූ අවස්ථාවේ ආක්‍රමණශීලි පිතිහරඹයක නිරත වෙමින් වනිදු හසරංග අවසන් භාගයේදී ලකුණු 25ක් රැස් කළා.

තරගය පැවති චිතගොන් ක්‍රීඩාංගණයේ ලකුණු 280ට වඩා රැස්කල තරගයක් බංග්ලාදේශය කණ්ඩායම පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙය වනවා.

තරගයේ වීරයා පැතුම් නිස්සංක.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක්දින තරගාවලිය 1ට1ක් ලෙස සම තත්ත්වයේ පසුවනවා.

තුන්වන හා අවසන් එක්දින තරගය ලබන 18 වනදා පැවැත්වීමට නියමිතයි.