Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්දියාවේ දෝනි ගත් ආන්දෝලනාත්මක තීරණයකින් යාපනයේ පාසැල් ක්‍රීඩකයෙකු හදිසියේම අයි පී එල් පිටියට




ශ්‍රී ලංකා පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලියට එක්වීමට අවස්ථාව උදාවූ දුර්ලභ සිද්ධියක් පිළිබද අපට තොරතුරු වාර්තා වුණා.

මෙම සුවිශේෂී අවස්ථාව උදාවී ඇත්තේ යාපනයේ පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන 17 හැවිරිදි කුගදාස් මාතලන්ටයි. 

ඔහුට මෙම අවස්ථාව උදා වූයේ පසුගියදා පැවති පාසැල් මහා ක්‍රිකට් තරග සමය යටතේ යාපනයේ පැවති ශාන්ත ජෝන් හා යාපනය මධ්‍ය විද්‍යාලය අතර පැවති තරගයේදී කුගදාස් යැවූ සුපිරි පන්දුවක් හේතුවෙන්.

ලසිත් මාලිංග, නුවන් තුෂාර, මතීෂ පතිරණ වැනි ජාත්‍යන්තර ක්‍රීඩකයින්ගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන අයුරින් පන්දු යවන මෙම ක්‍රීඩකයා යොමු කල පන්දුවෙන් පිතිකරු දැවී යන්නේ පන්දුව කඩුල්ලේ වැදීමෙන්.

කුගදාස් යවන යෝකර් පන්දුව නිසා පිතිකරු බිම ඇද වැටෙන අතර ප්‍රේක්ෂකයෙකු එම අවස්ථාව විඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත යොමුකර තිබුණා.

එය සමාජ මාධ්‍යයේ දැඩි අවධානයක් යොමුව ඇති අතර ඉන්දියාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිගේ අවධානයද මෙම විඩියෝව දෙස යොමුව තිබුණා.

එය දුටු දෝනි වහාම තීරණය කර ඇත්තේ මෙම පාසැල් ක්‍රීඩකයාව මෙවර අයි පී එල් තරගාවලිය වෙනුවෙන් චෙන්නයි කණ්ඩායමට ඇතුලත් කර ගැනිමටයි. 

ඒ අනුව කුගදාස් චෙන්නයි කණ්ඩායමේ පන්දු යැවීමේ කදවුර හා එක්වන අතර දැල තුල පන්දු යවන ක්‍රීඩකයෙකු ලෙස ඔහු යොදා ගැනීමටයි නියමිතව ඇත්තේ.

ඒ අවස්ථාව උදා කර ගැනීම සදහා කුගදාස් මේ වන විට චෙන්නයි බලා ගොස් තිබෙනවා. 

මෙවර අයි පී එල් තරගාවලියට නුවන් තුෂාර හා මතීෂ පතිරණ ද ක්‍රීඩකයින් ලෙස එක්වන අතර ලසිත් මාලිංග මුම්බායි කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස එක් වීමට නියමිතයි.