Saturday, May 4, 2024

General line - 0115112241

94 වැනි සුලෝහිත සංග්‍රාමයේ එක්දින තරගයට සමගාමීව 96 ලෝක කුසලාන ජය සමරන්න සියල්ල සූදානම්




කොළඹ ආනන්ද හා නාලන්දා විදුහල් අතර සුලෝහිත සංග්‍රාමයෙන් අනතුරුව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

ඒ, කොළඹ එස් එස් සී ක්‍රීඩංගණයේදීයි. මෙම එක්දින තරගය පී ද එස් කුළරත්න කුසලානය වෙනුවෙන් පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව 1996 වසරේ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 28 ක් සපිරීම නිමිත්තෙන් මෙම තරගය නැරඹීම සඳහා තෝරාගත් පිරිසකට නොමිලයේ අවසරපත් ලබාදීමට සුලෝහිත සංග්‍රාම ඒකාබද්ධ සංවිධායක කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් 1996 වසරේ මාර්තු 17 වැනිදා උපත ලැබූ අයට අද තරගය නැරඹීමට නොමිලයේ ප්‍රවේශපත්‍ර ලබා දෙනු ඇති.  

එමෛන්ම එයින් තෝරගත් පිරිසකට විශේෂ සමරු තිළිණද ලබාදීමට නියමිතයි.

1996 වර්ෂයේ ක්‍රිකට් ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායකත්වය දැරූ අර්ජුන රණතුංග, රොෂාන් මහානාම, කුමාර් ධර්මසේන ඇතුළු ක්‍රීඩකයින් 5 දෙනකුම ආනන්ද හා නාලන්දා විදුහල්වල ආදි සිසුන් වනවා.

මෙ අතර කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර 47 වන මස්ටෑන්ග්ස් කුසලාන එක්දින තරගය ලකුණු 30 කින් ජය ගැනීමට ශාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම ඊයේ  සමත්  වුණා .

පළමුව පන්දුවට පහර දුන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් පමණක්  දැවී ලකුණු 256 ක් රැස් කළා.

ලකුණු 257 ජයග්‍රාහි  ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි කොළඹ රාජකීය විද්‍යාල කණ්ඩායමට පන්දුවාර 48 යි එක් පන්දුවකදී තුළදී  සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 226 ක් පමණයි.