Monday, April 29, 2024

General line - 0115112241

උත්සව සමයේ එන භාණ්ඩ හිගයක් ගැන බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගෙන් රතු එළියක්




වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් රේගු නිලධාරීන් විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් වරාය තුළ මේ වන විට නිෂ්කාශනය සඳහා බහාලුම් විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇතැයි බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

ආහාර සහ ඖෂධ අඩංගු බහාලුම් පමණක් නිෂ්කාශනය කරන බව රේගු නිලධාරීන් පැවසීම හේතුවෙන් එදිනෙදා අවශ්‍ය වන අනෙකුත් ද්‍රව්‍ය සහ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අඩංගු බහාලුම් 4,000ක් පමණ වරාය පරිශ්‍රය තුළ නිෂ්කාශනය නොකර පවතින බවයි එම සංගමයේ සභාපති සනත් මංජුල නෙත් නිවුස් වෙත පැවසුවේ.

එමෙන්ම වරායෙන් පිටත නිෂ්කාශනය කෙරෙන අංගන තුළද බහාලුම් විශාල ප්‍රමාණයක් පවතින බව ඔහු ප්‍රකාශ කළා. 


රාමසාන් උපවාස සමය සහ එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් විශාල ප්‍රමාණයක් ඉදිරියේදී නෞකා මගින් වරාය වෙත රැගෙන ඒමට නියමිත බවද බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පැවසුවා.

එබැවින් මේ වන විට වරාය තුළ පවතින බහාලුම් සහ ඉදිරියේදී වරාය වෙත පැමිණෙනන බහාලුම් නිෂ්කාශනය කර ගත නොහැකි වුවහොත් ඉදිරියේදී භාණ්ඩ හිගයක් ඇති විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.


කෙසේවෙතත් සිය ඉල්ලීම් සඳහා සාධනීය පිළිතුරක් ලබා දීමට බලධාරීන් මෙතෙක් අපොහොසත් වී ඇති බැවින් ඉකුත් සිකුරාදා  ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරි දින කිහිපයේදීත් ක්‍රියාත්මක කිරීමට සිදු වනු ඇති බවයි රේගු නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමයේ සභාපති අමිල සංජීව.