Monday, April 29, 2024

General line - 0115112241

බැලුම්ගල හෙළි කළ භික්ෂු ප්‍රතිරූපකයා ගැන රජයෙන් විමර්ශන




නෙත් එෆ් එම් බැලුම්ගල අවස්ථා කිහිපයකදී අනාවරණය කළ මීවනපලානේ සිරි ධම්මාලංකාර නමින් පෙනී සිටින තැනැත්තා සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙනවා.

එම තැනැත්තා සිදු කරන සාවද්‍ය මතවාද සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අත්සනින්ද ලිපියක් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කෙරුණා.

ඒ, මීවනපලානේ සිරි ධම්මාලංකාර නමින් පෙනී සිටින තැනැත්තා ථේරවාදී පාලි ත්‍රිපිටකය සම්බන්ධයෙන් සාවද්‍ය මතවාද ප්‍රචාරය කෙරෙමින් බුද්ධ චරිතය හා ත්‍රිපිටකාගත බෞද්ධ ඉගැන්වීම් විකෘති කරමින් බරපතල ශාසන විනාශයක් හා සමාජ අර්බුදයක් නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණකාරී කටයුත්තක සිටින බව පවසමින්.

ඒ අනුව ඔහු සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණා. 

එම ලිපියට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ත්‍රෛනිකායික මහනා හිමිවරුන් වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂා කර බලා අවශ්‍ය කටයුතු කිරීම සඳහා බුද්ධශාසන අමාත්‍යංශය වෙත උපදෙස් ලබා දී ඇති බවයි.

එහි ප්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරියේදී ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් දැනුවත් කරන බවද ජනාධිපති ලේකම්වරයා යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර මීවනපලානේ ධම්මාලංකාර නමැත්තා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළ තොරතුරු බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඒ අනුව අදාළ තොරතුරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බවයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.