Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අසරණ වෙයි




පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.  

ඒ, ඊයේ දිනයේ තරඟය නිමා වන විට බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු 05ක් ලකුණු 47ක් තුළ දවා ගනිමින්.

එහිදී  විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ විශ්ව ප්‍රනාන්දු ලකුණු 13කට කඩුලු 03ක් බිඳ හෙළුවා.

කසුන් රාජිත සහ ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වී තිබෙනවා

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 280ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 188ක් පමණයි.  

ඉන් අනතුරුව යළි පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවනි ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 418ක් රැස් කළා.

තරඟයේ පළමු ඉනිමේදී ශතක රැස් කළ නායක ධනංජය ද සිල්වා සහ කමිදු මෙන්ඩිස් දෙවන ඉනිමේදීද ශතක රැස් කිරීමට සමත් වුණා.

ඔවුන් දෙදෙනා පළමු ඉනිමේදී ලකුණු 102 බැගින් රැස් කළා.

නායක ධනංජය ද සිල්වා දෙවනි ඉනිමේදී ලකුණු 108ක් රැස් කළ අතර කමිදු මෙන්ඩිස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 164ක්. 

බංග්ලාදේශ කණ්ඩායමට තරඟය ජය ගැනීමට නම් තවත් ලකුණු 464ක් රැස් කළ යුතු වනවා. දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව් වන දිනය අදයි.