Monday, April 29, 2024

General line - 0115112241

චීනයේ ලොකු ළුෑණු උත්සව සමයට පෙර දිවයිනට - ආනයනකරුවන් කියයි




ඉන්දියාව සහ පකිස්ථානය ලොකු ළුෑණු අපනයනය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් චීනයෙන් ලොකු ළුෑණු ආනයනය කිරීමට පියවර ගත් බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ චීනයේ ඩිම්බෝ වරාය හරහා ලොකු ළුෑණු මෙටි්‍රක් ටොන් 5,000ක් ගෙන්වීමට කටයුතු කර ඇති බවයි.

චීනයේ වෙනත් වරාය හරහා ද ලොකු ළුෑණු ආනයනය කිරීමට හැකි වුවද ඒවායේ සිට නෞකාවක් දිවයිනට පැමිණීමට මාසයකට ආසන්න කාලයක් ගතවනවා.

එහෙත් ඩිම්බෝ වරායේ සිට දින 10ක් තුළ නෞකාවක් දිවයිනට පැමිණෙන බවයි ඔහු පැවසුවේ.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ලොකු ළුෑණු රැගත් නෞකා දිවයිනට පැමිණීමට නියමිතයි.    

ඒ අනුව අවුරුදු සමයේ හිඟයකින් තොරව ලොකු ළුෑණු වෙළඳපොළට නිකුත් කිරීමට හැකි බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න පැවසුවේ.

චීනයෙන් ලොකු ළුෑණු ආනයනය කළද රුපියල් 400ක පමණ තොග මිලක් යටතේ අලෙවි කිරීමට සිදුවන බවද ඔහු කියා සිටියා.

මෙරටට ලොකු ළුෑණු වැඩි වශයෙන් ආනයනය කළේ ඉන්දියාවෙන්. එහෙත් එරට මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ලොකු ළුෑණු අපනයනය තහනම් කිරීමට ඉන්දිය රජය මීට පෙර පියවර ගනු ලැබුවා.

එවන් පසුබිමක් තුළ යළිත්  එම තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පසුගියදා  වාර්තා කළේ. 

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, මියන්මාරය, භූතානය ඇතුළු රටවල් රැසක් පකිස්ථානයෙන් ලොකු ළුෑණු ආනයනය කිරීමට පියවර ගනු ලැබුවා.

පවතින ඉල්ලුම හමුවේ ලොකු ළුෑණු අපනයනයේදී පැවති මිල ගණන්ද ඉහළ දැමීමටයි පකිස්ථානය කටයුතු කළේ.

එවන් පසුබිමක් තුළ රාමසාන් උත්සව සමය අවසන් වන තෙක් ලොකු ළුෑණු අපනයනය කිරීම නවතා දැමීමට පකිස්ථානය කටයුතු කළා. 

පකිස්ථානයෙන් ආනයනය කළ ලොකු ළුෑණු කිලෝවක තොග මිල රුපියල් 450ක් ලෙස පසුගිය සමයේ මෙරට සටහන්ව තිබුණා.

එම ලොකු ළුෑණු කිලෝවක් සිල්ලර වෙළඳපොළේ රුපියල් 550ත් 660ත් අතර මිල ගණන් යටතේ අලෙවි වුණා.

කෙසේවෙතත් රාමසාන් උත්සව සමය අවසන් වීමෙන් අනතුරුව පකිස්ථානයෙන් යළිත් ලොකු ළුෑණු ආනයනය කිරීමට හැකිවනු ඇති බවයි  අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය විශ්වාසය පල කරන්නේ.