Monday, April 29, 2024

General line - 0115112241

නීතිඥ වෘත්තීයේ නිරත වීම වළක්වාලමින් නීතිඥවරියකට තහනම් නියෝගයක්

    උදය කුමාර




අධිකරණ කාර්යාලයේ තිබූ නඩු ගොනුවක ලේඛනයක් බලහත්කාරයෙන් උදුරාගෙන එය සපා කා විනාශ කළේ යැයි චෝදනා ලබා සිටින කැකිරාව ප්‍රදේශයේ නීතිඥවරියකට නඩු විභාගය අවසන් වන තෙක් නීතිඥ වෘත්තීයේ නිරත වීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නීතිඥවරියට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා පත්‍රයක් සලකා බැලීමෙන් අනතුරුවයි එම නියෝගය නිකුත් කර ඇත්තේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ගාමිණී අමරසේකර සහ ඒ එච් එම් ඩී  නවාස්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම චෝදනා පත්‍රය කැඳවනු ලැබුවා.

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට අදාළව උසාවි කාර්ය මණ්ඩලය භාරයේ තිබූ නඩු ගොනුවක ලේඛනයක් බලහත්කාරයෙන් උදුරාගෙන එය සපා කා ඊට හානි කළේ යැයි චෝදනා කරමින් අදාළ නීතිඥවරියට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා. 

අදාළ නීතිඥවරිය නීතිඥ ආචාර්ය ධර්ම උල්ලංඝනය කර ඇති බවටයි අදාළ චෝදනා පත්‍රය මගින් චෝදනා එල්ල කර ඇත්තේ.

නීතිඥවරිය වසර දොළහක් පමණ කාලයක් නීතිඥ වෘත්තියේ නිරත වී ඇති බව නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවා.