Monday, April 29, 2024

General line - 0115112241

ආගමන විගමන දෙපාර්තමේන්තුවට මිලදී ගත් සී සී ටී වී කැමරා වසර 06ක් ගබඩාවක




ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අභ්‍යන්තර පරිශ්‍රයේ සවිකිරීම සඳහා මිලදී ගත් සී සී ටීවී කැමරා උපකරණ, වසර 06ක් තිස්සේ සවිනොකර ගබඩාවක ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණ වී තිබෙනවා.

අදාළ කැමරා උපකරණ සවිකිරීමට කඩිනමින් අවශ්‍ය පියවර ගෙන එහි ප්‍රගතිය මැයි මස 15 වන දාට පෙර දැනුම් දෙන ලෙසයි කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ.

2017 වසරේදී රුපියල් මිලියන 02යි දශම 01ක වියදමින් මිලදී ගත් එම සී සී ටීවී කැමරාවලට අවශ්‍ය සියලු උපාංග නොමැති බවත් ඉන් කොටසක් පමණක් මිලදී ගෙන ඇති බවත් කමිටුව හමුවේ අනාවරණ වී තිබෙනවා.

ඒ සඳහා මැදිහත් වූ නිලධාරින්ද මේ වන විට ස්ථාන මාරු ලබා ඇති බවයි හෙලිවී ඇත්තේ.

මෙවැනි ආයතනවල ඇතැම් පිරිස් කැමරා උපකරණ සවිකිරීමට කැමැත්තක් නොදක්වන බව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා අදාළ කැමරා පද්ධතිය සවිකිරීම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර සිදුකරන ලෙසද ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.