Monday, April 29, 2024

General line - 0115112241

ටෙලිකොම් විකිණීමට එරෙහි අතුරු තහනම ඉවතට

උදය කුමාර




දැනට තෝරා ගෙන සිටින අයදුම්කරුවන් පදනම් කරගනිමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝග  ඉවත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ, ඊට අදාළ පෙත්සම් යළි කැඳවූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙනුවෙන් ලයිකා මොබයිල් සමාගම මෙන්ම ලංකා හොස්පිට්ල්ස් ආයතනය වෙනුවෙන් ලයිකා ලීසිං හෝල්ඩිං සමාගම ඇතුළු සමාගම් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් මීට පෙර සලකා බැලූ අවස්ථාවේදී එම ආයතනවල කොටස් පැවරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝග නිකුත් කර තිබුණා.

මෙම පෙත්සම් යළි කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන, මූලික විරෝධතා මතු කරමින් මෙම නඩුවේ පෙත්සම්කරුවන්ගේ ඇටෝනි බලපත්‍ර නිසියාකාරව ඉදිරිපත් වී නොමැති නිසා එම පදනම මත මෙම නඩුකර පවත්වාගෙන යාමට නොහැකි බව දන්වා සිටියා.

ඒ අනුව අදාළ අතුරු තහනම් නියෝග ඉවත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටි බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. 

ඒ අනුවයි අදාළ අතුරු තහනම් නියෝග ඉවත් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත්තේ. එමෙන්ම අභියාචනාධිකරණය විසින් වගඋත්තරකරුවන්ගේ විරෝධතාවලට යටත්ව නව පෙත්සම් ඉදිරිපත් කිරීමට පෙත්සම්කාර පාර්ශවයට හැකියාවක් තිබෙන බවත් නියෝග කළේය. 

මෙම  පෙත්සම්වලින් පෙත්සම්කාර සමාගම් කියා සිටින්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු සියයට 50යි දශම 2යි 3ක කොටස් හා ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ සියයට 51යි දශම 3යි 4ක් කොටස් පැවරීමේ ක්‍රියාවලියට අදාළව සුදුසුකම් ලැබීම සඳහා අයදුම්පත් තමන් විසින් වගඋත්තරකරුවන් වෙත ඉදිරිපත් කළ බවයි.

එහෙත් කිසිදු හේතු පැහැදිලි කිරීමකින් තොරව එම අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට වගඋත්තරකාර රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට අදාළ අමාත්‍ය මණ්ඩල කමිටුව  තීරණය කළ බවත් පෙත්සම්කාර සමාගම් චෝදනා කරනවා.

අමාත්‍ය මණ්ඩල  අනු කමිටුවේ මෙම තීරණය අත්තනෝමතික මෙන්ම අයුක්ති සහගත බව පෙන්වාදෙන පෙත්සම්කාර සමාගම් සියලු සුදුසුකම් සපුරා තිබියදීත් තම අයදුම්පත් පිලි නොගැනීමට එම කමිටුව ගත් තීරණය නීතියට පටහැනි බවත් සිය පෙත්සම් වලින් පෙන්වා දී තිබුණා.