Tuesday, April 30, 2024

General line - 0115112241

සංචාරක කර්මාන්තයේ අවස්ථා සොයා ජනපති නුවරඑළියේ පා ගමනක.




නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත වුණා.

“පිකෝ ට්‍රේල් ” මංපෙත හරහා ජනාධිපතිවරයා පා ගමනින් මෙම සංචාරයට එක් වීම විශේෂත්වයක්.

“පිකෝ ට්‍රේල් ” යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා දිවෙන කිලෝ මීටර් 300ක පමණ කඳු නැගීමේ මාර්ගයක්.

එය ආසියාවේ හොඳම රහසිගත මාර්ගවලින් එකක් ලෙස සැළකෙනවා. 

“පිකෝ ට්‍රේල් ” නම් මෙම මංපෙත මහනුවර නගරයෙන් ආරම්භ වී දකුණු දෙසින් හැටන් සහ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය දෙසට ගමන් කරන අතර ඉන්පසු එය හපුතලේ සහ ඇල්ල හරහා නැගෙනහිර දෙසට ගමන් කර සුන්දර නුවරඑළිය නගරය වටා ගමන් කර අවසන් වනවා.

මෙම මාර්ගය බ්‍රිතාන්‍ය  යටත් විජිත සමයේදී විශාල වතුවල සිට කර්මාන්තශාලා වෙත තේ ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කරන ලද්දක්.

“පිකෝ ට්‍රේල් ” මාර්ගය ඔස්සේ කිලෝමීටර 3යි දශම 2ක පමණ දුරක් පාගමනින් ඇවිද ගිය ජනාධිපතිවරයා කෝට් ලොජ් වතුයායේ සේවයේ නිරතව සිටින කම්කරු ජනතාවගේ ද තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත වුණා.

එම ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව මහත් හරසරින් පිළිගත් අතර ජනාධිපතිවරයා සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔවුන්ට තම සුබපැතුම් පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

බ්‍රවුන්ස් වැවිලි සමාගම යටතේ පාලනය වන කෝට් ලොජ් වතු යාය හෙක්ටයාර 264ක් වන අතර මුළු සේවක සංඛ්‍යාව 349ක්.

එම වතු ජනතාව මුහුණ  දී සිටින අධ්‍යාපන, සෞඛ්‍ය ගැටළු ඇතුළු මූලික අවශ්‍යතා පිළිබඳ සොයා බැලූ ජනාධිපතිවරයා විශේෂයෙන් උසස් පෙළ විභාගයෙන් පසුව පාසල් අධ්‍යාපනය අවසන් කරනු ලබන වතු කම්කරු ප්‍රජාවගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන්ද එහිදී විශේෂ අවධානයක් යොමු කළා. 

අනතුරුව “පිකෝ ට්‍රේල් ” හරහා මෙරට කඳුකරය ආශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳව ද ජනාධිපතිවරයා එහිදී සොයා බැලූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

“පිකෝ ට්‍රේල් ” ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා වූ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වසර ගණනාවක් පුරා කඳු තරණය කළ, ධාවන උපදේශක මිගෙල් කුනාට් එහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම කඳු නැගීමේ ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තර සිතියමට එක් කළ හැකි බවයි.

“පිකෝ ට්‍රේල් ” මං මාවත ඔස්සේ පා ගමනින් ගොස් ශ්‍රී ලංකාව පුරා විවිධ භූමි ප්‍රදේශ, මෙරට ඉතිහාසය, සංස්කෘතිය, දේශීය ආහාර පාන පිළිබඳ සුවිශේෂී අත්දැකීම් ලබා ගැනීමට සංචාරකයින්ට අවස්ථාව සැලසෙනවා.

“පිකෝ ට්‍රේල් ” සංචාරක මාර්ගය අදියර 22 කින් සමන්විත වන අතර  එක් දිනක් හෝ දින ගනණාවක් ගත කළ හැකි සංචාරක අත්දැකීමක්.