Wednesday, May 1, 2024

General line - 0115112241

ඔන්ලයින් පනත ගෑවුණු නඩුවකට නීතීඥ සංගමය මැදිහත් වෙයි

උදය කුමාර




ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකට හිරිහැර සිදු කිරීමේ අරමුණින් ඔහුගේ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍යවල පළ කිරීම වළක්වාලමින් මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත යටතේ  කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද විරෝධතා මතු කළා.

ජනක රත්නායක ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුගේ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍යවල පළ කිරීම වළක්වාලමින් රජය විසින් මෑතකදී සම්මත කළ මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත යටතේ කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කර තිබුණා.

එම නඩුකරය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත ඉදිරියේ අද යළි කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ මෙම නඩුවට අදාළව අධිකරණ බලය සම්බන්ධයෙන් මූලික විරෝධතා මතු කරන බවයි.

මෙම නඩුකරයට අදාළව තමන් වෙත නොතිසි ලැබී නොමැති බව සඳහන් කළ  වග උත්තරකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පිරිස්, නලින්ද ඉන්දතිස්ස සහ චමින්ද අතුකෝරාල, හෆීල් ෆාරිස්, හර්ෂණ නානායක්කාර මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි එහි සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න කියා සිටියේ මෙය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා සම්බන්ධ වැදගත් නඩුකරයක් බැවින් එම නඩු කටයුත්ත නිරීක්ණය කිරීම සඳහා තම සංගමය මැදිහත් වන බව පැවසුවා.

එම අවස්ථාවේදී පෙත්සම්කාර ජනක රත්නායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස සඳහන් කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් වශයෙන් පිළිගෙන තිබුණද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(7) වගන්තිය තුළින් එම අයිතිය භුක්ති විඳීමේ සීමාවන්  පනවා තිබෙන බවයි.

මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳව පනත සම්බන්ධයෙන් මතභේදකාරී  තත්ත්වයක් සමාජය තුළ පැවතියද මෙම නියෝගය ලබා ගැනීමේ ක්‍රියාවලියට රජයේ මැදිහත් වීමක් නොමැති බවත් මෙම නියෝගය ලබාගෙන තිබෙන්නේ පෞද්ගලික පාර්ශවයක් බවත් ජනාධිපති නීතිඥ ඉන්දතිස්ස එහිදී පෙන්වා දුන්නා. 

එම අවස්ථාවේදී ජනාධිපති නීතිඥ සාලිය පිරිස් ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන්නේ මෙම පනත හරහා රජයට පමණක් නොව පෞද්ගලික පාර්ශවයන්ටද සිය අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා අවභාවිතා කිරීමට හැකියාව තිබෙන බවයි. දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල නැවත  මැයි මස 02 වනදා කැඳවන ලෙස නියෝග කළා.

එදින මෙම නඩුකරයට අදාළ විරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් පාර්ශව කරුවන්ට දැනුම් දුන්නා. 

අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස පැමිණිලිකාර ජනක රත්නායකගේ පුද්ගලික සහායිකාවක වශයෙන් කටයුතු කළ මේ වන විට තායිවානයේ වෙසෙන ගයත්‍රී බිම්බා, ජනක රාජපක්ෂ, ඔෂල හේරත්, ටෝක් විත් ලාල් සහ මී මැස්සෝ යන යූටියුබ් නාලිකාවල  මාධ්‍යවේදීන් ඇතුළු පාර්ශව 08ක් නම්කර තිබෙනවා. 

ජනක රත්නායකට සම්බන්ධ පෞද්ගලික ඡායාරූපයක් වීඩියෝ දර්ශන ඇතුළු  පුද්ගලික තොරතුරු සමාජ මාධ්‍යවල පළ කිරීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත්දා මෙම වගඋත්තරකරුවන් වෙත අදාළ කොන්දේසි සහිත ආඥාව නිකුත් කර තිබුණා.