Friday, October 25, 2024

General line - 0115112241

ණය දුන් IMF ශ්‍රී ලංකාවට අනතුරුත් අඟවයි

නිහාල්සිරි ගම්ලත් 




ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය මත විස්තීරණ ණය පහසුකමේ  තුන්වන වාරිකය වූ අමෙරිකානු ඩොලර් මිලියන 336ක මුදල ශ්‍රී ලංකාවට ලැබෙන බව ආණ්ඩුව පවසනවා. 


ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති මාස 48ක් සඳහා ක්‍රියාත්මක විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊයේ සිය අනුමැතිය ලබා දුන්නා.

ඒ අනුවයි තෙවන වාරිකය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 336ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇත්තේ.

ඒ අනුව මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් බිලියන තුනකට ආසන්න මුදලක් විස්තීරීණ ණය පහසුකම යටතේ ලබා දීමට එකඟතාව පළ කළා.

ඒ, 2023 වසරේ මාර්තු 20 වන දින සිට මාස 48ක කාලයක් සඳහායි.

එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 337ක් හිමි වුණා.

සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා පවසා ඇත්තේ සිය ආධාර වැඩසටහනේ සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කයේ ආන්තික හිඟය හැර සියලු ප්‍රමාණත්මක ඉලක්ක සපුරාගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම ආරම්භ වී ඇති බවත් උද්ධමනය අඩු මට්ටමක පවතින බවත් ඔහු පවසා තිබෙනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් අවදානමට ලක්ව ඇති බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා පවසා ඇත්තේ.

එමෙන්ම ණය තිරසාරත්වයට පත්වීම තවමත් ප්‍රමාද වී ඇති බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.

කෙසේවෙතත් 2023 වසරේ දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාව නියමිත ඉලක්ක සපුරා තිබූ බැවින් මෙම ණය මුදලේ තෙවන වාරිකය අනුමත වූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියද පැවසුවේ.

ඔහු කියා සිටියේ රටට ලැබෙන සෑම මුදලක්ම ඉතාමත්ම සැලැසුම් සහගතව වියදම් කිරීමට අවශ්‍ය වාතාවරණය සකසා ඇති බවයි.