Friday, September 13, 2024

General line - 0115112241

රනිල්  කියන්නේ පොරොන්දුවක් ලබාදුන්හොත් එය අකුරටම ඉෂ්ට කරන නායකයෙක් බව වජිර කියයි 




රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ පොරොන්දු ලබා නොදී වුවත් ජනතාවට සිය අයිතිවාසිකම් ලබාදුන් නායකයෙක් බවත්, එතුමා යම් විදිහකින් පොරොන්දුවක් ලබාදුන්හොත් එය අකුරටම ඉෂ්ට කරන නායකයෙක් බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා 

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (24) දිනය පුරා ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන මට්ටමින් පැවැති ඒකාබද්ධ රැස්වීම්වලට සහභාගී වෙමින්.

තවද රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව ලබන වසරේ සිට 25000 දක්වා ඉහළ දැමීමට මේ වනවිට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබෙන බවත් එය විපක්ෂයේ ඇතැම් පිරිස් විසින් විවේචනය කළත් ජනාධිපතිතුමා නියත වශයෙන්ම එය ලබාදෙන බව අබේවර්ධන වැඩි දුරටත් පවසා සිටියා.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වු වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.

" ඔබ අපි මේ දැන් සිටින්නේ ජනාධිපති මැතිවරණයක් අත ළඟ තබාගෙන. සියලු අපේක්ෂකයින් මේ මොහොත වන විට තමන්ගේ මැතිවරණ ව්‍යාපාර ආරම්භ කර තිබෙනවා. 

ඉතින් මේ ජනාධිපති මැතිවරණය හරහා අපි හොයන්නේ හොයන්නේ ආගමට නායකයෙක් නෙමෙයි. අපි මේ හොයන්නේ කුලයකට නායකයෙකුත් නෙමෙයි. 

මේ හොයන්නේ වෙන සංස්කෘතියකට නායකයෙකුත් නෙමෙයි. 

අපි මේ මැතිවරණයෙන් හොයන්නේ ජාතියට නායකයෙක්. 

ඉතින් දැන් බලන්නකෝ මෙවර ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හැරුණම තව 38 දෙනෙක් ඉතිරිපත් වෙලා තිබෙනවා. 

නිකන් හිතලා බලන්නකෝ මේ අය අතුරින් රනිල් වික්‍රමසිංහ මහතා සමග ගලපන්නවත් පුලුවන් පුද්ගලයෙක් ඉදිරිපත් වෙලා තියෙනවද කියලා? මේ දේවල් ඔබ හොඳින් සිතා බැලිය යුතුයි. 

ලංකාවෙන් එපා කිව්වොත් එහෙම වෙනත් රටවලින් රනිල් වික්‍රමසිංහ මහතාට කියයි, මෙහේ ඇවිත් අපේ රට ගොඩ දාලා දෙන්න කියලා. ඒ වගේ ලෝකය පිළිගත් නායකයෙක් තමයි වර්තමාන අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා. 

ඒ නිසා අපි එක දෙයක් මතක තබා ගන්න ඕන. හරිනම් මේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අනෙක් 38 දෙනාම රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දයක් දෙන්න ඕන. 

ඔවුන් මේ ගැන ඔවුන්ගේ පාක්ෂිකයින්ව පවා දැනුවත් කළ යුතුයි. 

ඒ මොකද අද ඔවුන් පවා මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට පින් සිද්ධ වෙන්නයි. 

නැත්තම් ඔවුන්ට පුලුවන්ද අද මැතිවරණයකට ඉදිරිපත් වෙන්න. ඔවුන්ට වෙන්නෙත් තෙල් පෝලිමක එහෙමත් නැතිනම් ගෑස් පෝලිමක හිට ගෙන ඉන්න.

ඒ නිසා ඔබ මේ වෙලාවේ බොහොම කල්පනාවෙන් මේ දේවල් දිහා බැලිය යුතුව තිබෙනවා. අපිට අවශ්‍ය කරන්නේ බොහෝම බලසම්පන්න නායකයෙක්. 

ඒ නායකයාට වැටුණු ජාතිය නගා සිටුවන්න ශක්තියක් තිබිය යුතුයි. ඉතින් වාසානාවකට අපිට එහෙම නායකයෙක් ඉන්නවා. ජාතිය වැටුණු හැම වෙලාවෙම එතුමා ඉදිරියට ආවා. 

වෙනත් අය පැනලා ගියා. නමුත් රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයා හැම තිස්සේ අපේ රටේ ජනතාව වෙනුවෙන් හිට ගත්තා. 

එතුමා අද අරන් තිබෙන තීරණය බොහෝම හොඳයි. එතුමා අද ජනාධිපතිවරණයට තරඟ කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් නෙමෙයි. එතුමා අද තරඟ කරන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට. 

මොකද එතුමා නායකත්වය දුන්නේ සමස්ථ ශ්‍රී ලංකාවටමයි. එ් නිසා එතුමා ගත් තීරණය හරියටම හරි. 

දැන් යන්නේ අලුත් ක්‍රමයක්. පරණ ක්‍රමයට දැන් දුවන්න බැහැ. නමුත් තාමත් අපිට පේනවා විරුද්ධ පක්ෂය පරණ විදිහටම 
බොරු ගොන්නක් ජනතාව ඉදිරියේ ප්‍රකාශ කරනවා. 

දැන් බලන්නකෝ ජනතා විමුක්ති පෙරමුණ. ඔවුන් කියනවා ඔවුන් බලයට ආවොත් පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වෙනවා කියලා. 

මොකද එතකොට වෙන්නේ? නැවත වරක් අපිට හිඟා කන්න පුලුවන්. ලෝකයෙන් වෙන් වෙලා කිසිම රටකට ඉදිරියට යන්න බැහැ. එතකොට දැන් බලමු විරුද්ධ පක්ෂය මොකද කියලා තියෙන්නේ කියලා? විරුද්ධ පක්ෂය කියන බොරු ඊට වැඩිය භයානකයි. 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියලා තිබෙනවා ලබන වසරේ සිට රාජ්‍ය සේවකයින්ගේ ජීවන් වියදම් දීමනාව රුපියල් 25000 ක් දක්වා ඉහළ දමනවා කියලා. ඒ වෙනුවෙන් මේ වනවිට කැබිනට් අනුමැතියත් ලැබිලයි තිබෙන්නේ. 

මේ ගැන විපක්ෂයේ අය විවිධ කතා කියමින් ජනතාව නොමග යවන බවක් පෙනෙන්නට තිබෙනවා. 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පසුගිය ආර්ථික අර්බුධය සමයේ රුපියල් 10,000 කින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරලා තියනවා. 

කොහොමද ද එතුමා එහෙම වැඩි කළේ? එතුමා ඒ වැටුප් වැඩි වීම සිදුකළේ මහ බැංකු පනතට අනුවයි. මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරලා තිබෙනවා. 

ඒ නිසා සල්ලි අච්චු ගහලා වැටුප් ගෙවන්න බැහැ. ඒ වගේම අපි ගත්ත ණය ගෙවන විදිහ ගැනත් මේ පනතේ සඳහන් වෙනවා. ඊළඟට පාර්ලිමේන්තුවේ හදලා තිබෙනවා අයවැය කාර්යාලයක්. 

ඊළඟට තිබෙනවා ආර්ථික පරිවර්තන පනත. 

එහෙනම් දැන් හිතුමතේට වැටුප් වැඩි කරන්න බැහැ. 

ඒකට නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. කොහොම වුණත් ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම සිදුකරලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2015 ජනවාරි 8 වෙනිදා අග්‍රාමාත්‍යධුරයට පත්වීමෙන් පසුවයි. 

ඒ කියන්නේ රුපියල් 12,400 ක් මූලික වැටුප ලබපු රාජ්‍ය සේවකයා 2019 අපි රට බාරදෙන විට ඔහු රුපියල් 30,000 ක මූලික වැටුපක් ලැබුවා. 

කොහොම හරි කමක් නෑ ඊට පස්සේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා. 

රට බංකොලොත් වුණා. ජනතාවට අමාරුයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතික පොරොන්දුවක් ලබා නොදී වැටුණ රට ගොඩගෙන ජනතාවට සහනයක් දෙන්න උපරිම ක්‍රියාමාර්ග ගත්තා. 

එතුමාගෙන් ජනතාව අස්වැසුම ඉල්ලලා තිබුණද? නමුත් එතුමා රුපියල් 15,000 බැගින් අඩු ආදායම් ලාභීන් ලක්ෂ 20 කගේ එකවුන්ට්වලට දැම්මා. මොකද මහජනයා වැටුනොත් ආර්ථිකය නැවත වරක් වැටෙනවා. 


දැන් එතුමා මෙහෙම කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝකයේ අනෙක් ණය දෙන ආයතනවල සාකච්ඡාවකින් පසුවයි. 

මොකද අපේ රටේ ආර්ථිකය නංවන්න නම් ඊට මානව සම්පත වැඩි වශයෙන් සම්බන්ධ කර ගත යුතුයි. මානව සම්පත වැටුණොත් 2027 ආර්ථික වර්ධන වේගය සියයට 5 දක්වා ගෙනයාමට නොහැකි වෙනවා. 

දෙවැනි කණ්ඩායම හැටියට අපි රාජ්‍ය සේවකයින් ගත්තොත්, රාජ්‍ය සේවකයින් ලක්ෂ 15 ක් පමණ ඉතා අසරණ තත්ත්වයකයි ඉන්නේ. 

එහෙනම් රජයක් විදිහට ඔවුන් ගැනත් බැලිය යුතුව තිබෙනවා. උදාහරණයක් විදිහට ගත්තම ඔවුන්ගේ පඩි වැඩි කිරීම සිදුකළ යුත්තේ, මුදල් අමාත්‍යංශයේ සහ වැටුප් කොමිෂන් සභා වාර්තාවලට සහ ඒවායේ තිබෙන නීතිරීති පද්ධතිය තුළයි. 

ඔවුන්ගේ වැටුප ඔවුන්ට තීරණය කරගත නොහැකි පිරිසක් තමයි මේ රාජ්‍ය සේවය තුළ සිටින්නේ. තවත් ලක්ෂ 65 ක පමණ කණ්ඩායමක්, පෞද්ගලික අංශයේ EPF, ETF ලබාගනිමින් සේවය කරමින් සිටිනවා. 

මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට අනුව වයස අවුරුදු 18 ට වැඩි ඡන්ද දායකයින් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂයක් සිටිනවා. එහෙනම් මානව සම්පත මේ එක් කෝටි හැත්තැ එක් ලක්ෂයක් කෙසේද 2027 ආර්ථික වර්ධන වේගය සඳහා හවුල් කරුවන් කරගන්නේ කියන අභියෝගය ශ්‍රී ලංකාව සතුව තිබෙනවා. 

අපි ගත්තොත් මේෂන් මහත්මයෙක්, අපි ගත්තොත් වඩු මහත්මයෙක්, එහෙම නැතිනම් සැලුන් එකක් කරන පුද්ගලයෙක්. මේ ඕනෑම කෙනෙකුට රටේ පවතින වාතාවරණය අනුව තමන්ගේ වැටුප තමන්ට තීරණය කරගැනීමේ අයිතිය තිබෙනවා. 

ඒ කියන්නේ ඔවුන්ට තමන්ගේ වැටුප වැඩි කිරීමට කාගෙන්වත් අවසර ගන්න වුවමනා නැහැ. 

එය කාටවත් පාලනය කරන්නත් බැහැ. ඉතින් මෙවැනි පුද්ගලයෙක් රාජ්‍ය සේවකයෙක්ගේ ගෙදර ගියාම ඔහු ඉල්ලන මුදල් ප්‍රමාණය රාජ්‍ය සේවකයාට ගෙවන්න පුලුවන් කමක් නැහැ. 

එහෙනම් මේ අසමාන තුලිතතාවය නිසා ආර්ථිකයේ මහා පීඩනයක් ඇති වී තිබෙනවා. මේ පීඩනය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙනත් තිබෙන ආර්ථික පරිවර්තන පනතේ සඳහන් වෙලා තිබෙනවා. 

ඉතින් ඒ නිසා සිරකරුවන් මෙන් සිටින රාජ්‍ය සේවයේ ලක්ෂ 15 ට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියනවා මේ පනතේ තිබෙන නීති රීති පද්ධතිය ඇතුලේ ඔවුන්ගේ වැටුප රුපියල් 25000 කින් වැඩි කරනවා කියලා. 

රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ පොරොන්දු නොවී පොරොන්දු ඉටු කරන නායකයෙක්. එහෙනම් එතුමා පොරොන්දුවක් දුන්නොත් දුන්නම තමයි ආයේ ඒ ගැන කතා දෙකක් නැහැ. "