Saturday, November 30, 2024

General line - 0115112241

මැති සබය දින දෙකකට සීමා වෙයි




මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු දින දෙකකට සීමා කර තිබෙනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස් වනවා.

පෙරවරු 10.30 දක්වා කාලය වෙන්කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරමින් ඉදිරිපත් කරන ප්‍රශ්න සඳහායි.

පෙරවරු 10.30 සිට පස්වරු 05 දක්වා විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත දෙවන වර කියවීම, අපරාධ නඩු විධාන සංග්‍රහය පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත් කෙටුම්පත දෙවන වර කියවීමට නියමිතයි.

ඉන් අනතුරුව පස්වරු 05 සිට 05.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. 

හෙට පෙරවරු 09.30ට රැස්වන පාර්ලිමේන්තුව 10.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

අනතුරුව පෙරවරු 10 සිට පස්වරු 05 දක්වා ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි ද්විත්වයක් විවාද කර සම්මත කිරීමට නියමිතයි.

එමෙන්ම කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි, උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝග ද්විත්වයක් සහ ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති විවාද කර සම්මත කිරීමට ද නියමිතව තිබෙනවා. 

ඉන් අනතුරුව පස්වරු 5 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.