Tuesday, September 17, 2024

General line - 0115112241

ධනංජය සහ කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා පළමු ඉනිම ගෞරවාන්විත ස්ථානයකට රැගෙන යයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරය නතර කරන විට කඩුලු 05ක් දැවී ලකුණු 211ක් ලබාගෙන සිටියා.

ඒ, එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට ලබාගත් ලකුණු 325ට පිළිතුරු වශයෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක පන්දු 51ක් තුළදී ලකුණු 64ක් ලබා ගත්තා. නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 64ක් සහ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 54ක් ලබා ගනිමින් පිටියේ රැඳී සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 05 ලකුණු 93ක් තුළදී දවා ගැනීමට එංගලන්ත කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් වුණා.

ඉන් අනතුරුව පිටියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් හයවන කඩුල්ල සඳහා ලකුණු 118ක සබඳතාවක් පවත්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවාන්විත තත්ත්වයකට රැගෙන ගියා.

එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 325ක් රැස් කළා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ එංගලන්ත නායක ඔලී පොප් පන්දු 156කදී රැස් කල ලකුණු සංඛ්‍යාව 154ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 02ක් සහ හතරේ පහර 19ක් ඇතුළත් වුණා.

බෙන් ඩකට් ලකුණු 86යි. කෙසේවෙතත් එංගලන්ත සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව පසුකර යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. 

මිලාන් රත්නායක කඩුලු 03ක් දවා ගත්තා.

විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ නායක ධනංජය ද සිල්වා අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.

අසිත ප්‍රනාන්දු ද එක් කඩුල්ලක් දවා ගත්තා.

ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේ දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.