Thursday, September 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා සහ නවසීලන්ත පළමු ටෙස් තරගය නොමිලේ නරඹන්න ජනතාවට අවස්ථාව




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත පළමු ටෙස්ට් තරගය ජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ලබන 18 වන දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගය 18 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මහජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ගේට්ටු අංක 4 හරහා මහජනතාවට පිටියට ඇතුළුවීමේ අවස්ථාව හිමිවනවා.

එමෙන්ම ලබන 21 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසුම වෙනුවෙන් එදින ක්‍රීඩකයන්ට ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව පළමු ටෙස්ට් තරගය අතරතුරදී ලබාදෙන විවේක දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට තම ගම්බිම් බලා ගොස් ඡන්දය ප්‍රකාශ කොට එදිනම පස්වරුවේ යළි කණ්ඩායම සමඟ එක්වන ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇත්තේ.

තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 26 දා සිට 30 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලියට සහභාගී වීම සඳහා නවසීලන්ත කණ්ඩායම ඊයේ දිනයේදී දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අවසන් වරට ශ්‍රී ලංකාවේදී හමුවී ඇත්තේ 2019 වසරේදීයි.