Friday, September 27, 2024

General line - 0115112241

කමිඳුගෙන් තවත් වාර්තාවක් - ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දැවැන්ත ලකුණු පුවරුවක්




සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී තවත් සුවිශේෂී වාර්තාවක් තැබීමට කමිඳු මෙන්ඩිස් අද සමත් වුණා.

ඒ, අඩුම ඉනිම ගණනකදී ටෙස්ට් ලකුණු 1,000ක් රැස් කළ ක්‍රීඩකයින් අතර තුන් වන ස්ථානයේ සිටි ලෝක පූජිත ඩොන් බ්‍රැඩ්මන් හා සම වෙමින්.

කමිඳු මේ දක්වා ටෙස්ට් ඉනිම් 13කට ක්‍රීඩා කර තිබෙනවා. අර්ධ ශතක 04ක් සහ ශතක 05ක් සමගින් ඔහු රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 1,002ක්. 

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන තරඟයේ පළමු ඉනිම  කඩුලු 05ක් දැවී ලකුණු 602ක් රැස් කර සිටියදී ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජයද සිල්වා තීරණය කළා. කමිඳු මෙන්ඩිස් ලකුණු 182ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 106ක් නොදැවී රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් රැස් කළ ලකුණු සංඛ්‍යාව 116ක්. 

සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සංචාරක නවසීලන්ත කණ්ඩායම තරඟයේ දෙවන දිනය නිමා වන විට කඩුලු දෙකක් දැවී ලකුණු 22ක් රැස් කරගෙන සිටියා.

ඩෙවෝන් කොන්වේ ලකුණු 09කටත් ටොම් ලැතම් ලකුණු 02කටත් දැවී ගියා. අසිත ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ල බැගින් දවා ගත්තා.