Thursday, October 31, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ සංචාරක නවසීලන්තය අසරණ වෙයි




ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන සංචාරක නවසීලන්ත කණ්ඩායම දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 03ක් රැස් කරගෙන සිටියා.

ටොම් ලැතම් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

සංචාරක නවසීලන්ත කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 88කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඒ අනුව කිසිදු නවසීලන්ත ක්‍රීඩකයෙකුට ලකුණු 30 සීමාව පසු කර යෑමට අවස්ථාව හිමි වූයේ නැහැ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 42කට කඩුලු 06ක් බිඳ හෙළුවා.

නිශාන් පීරිස් කඩුලු 03ක් සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවා ගත්තා. 

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 602ක් රැස් කර සිටියදී සිය පළමු ඉනිම අත්හිටවනු ලැබුවා.

විශිෂ්ට පිති හරඹයක නිරත වූ කමිඳු මෙන්ඩිස් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 182ක්.

ඔහුට අනගි සහයක් වෙමින් කුසල් මෙන්ඩිස්ද නොදැවී ලකුණු 106ක් රැස් කළා.

දිනේෂ් චන්දිමාල් රැස් කළ ලකුණු සංඛ්‍යාව 116ක්.

ඇන්ජලෝ මැතිව්ස් දැවී ගියේ ලකුණු 88ක් රැස් කර සිටියදීයි.

දිමුත් කරුණාරත්න ලකුණු 46යි.

නායක ධනංජය ද සිල්වා ලකුණු 44ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලකුණු 511ක් ඉදිරියෙන් පසුවනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන් වන දිනය අද වනවා.